මත­කයේ රස­වත් තැන් පොත­කට ගෙනාවා

ලේඛක, ප්‍රවීණ රංගන ශිල්පී රොඩ්නි වර්ණ­කුල

ඔබ මෙවන් පොතක් ලියන්න හිතුවේ ඇයි?

පොතක් කියන්නේ කව­දා­වත් දිය­වෙලා යන දෙයක් නොවෙයි. ඒක කාලා­න්ත­ර­යක් පව­තින දෙයක්. ඉතින් මගේ කලා ජීවි­තයේ වසර 40ක් සපි­රෙන මේ වක­වා­නු­වේදී මා ලැබූ අත්දැ­කීම් අලළා පොතක් ලිවීම හොඳයි යැයි සිතුණා. ඒව­ගේම මම මේ පොත ලිවීම ආරම්භ කළේ පසු­ගිය කොරෝනා කාල­යේ­දියි. ඒ කාලෙදී අපි ගෙව­ල්වල හිර­වුණා. සෞඛ්‍ය හේතූන් උඩ අපිට නාට්‍ය කරන්න විදි­යක් තිබුණේ නැහැ. ඒ වගේම පොත් කිය­වන බුද්ධි­මත්ම පිරිස සමඟ මගේ අත්දැ­කීම් බෙදා ගැනී­මට මම කල්පනා කළා.

1980 පාසල් වේදි­කාවේ සිට පැමිණි මම නාට්‍ය වේදි­කාවේ මගේ අත්දැ­කීම් ඉතිරි කර යා යුතුයි. මගේ මත­කයේ තිබෙන ඒ රස­වත් මත­ක­යන් කොහේ හෝ පුස්ත­ක­යක තබා යාම හොඳයි. ඒවා අනා­ගත දරු­වන්ට ඉතිරි කර යන්න ඕනෑ. කාට වැද­ගත් නොවු­වත් මගේ දරු මුනු­පු­රන්ට ඔවුන්ගේ සීයාගේ අත්දැ­කීම් පිළි­බඳ හොඳ දිග­හැ­රු­මක් දැන­මු­තු­ක­මක් මේ තුළින් ලැබෙ­නවා කියල මට විශ්වා­සයි. ඩිජි­ටල් ලෝකයේ අද තිබෙන දේවල් කොයි­වෙ­ලාවේ වාෂ්ප වෙයිද, අම­තක වෙලා යයිද නැති­නම් ඩිලීට් වෙලා යයිද කියා අපි කවු­රුත් දන්නේ නැහැ. මේවගේ පොතක තිබෙන සට­හන් ඒවගේ ඩිලීට් වෙලා යන්නේ නැහැ. ඒ නිසා අනා­ගත පිරිස වෙනු­වෙන් මෙය වටි­නවා කියලා මම සිත­නවා. මට කැමැති මාව දන්න අය මේ පොත අනි­වා­ර්ය­යෙන්ම පරි­ශී­ල­නය කරයි.

   චරි­තා­ප­දා­න­ය­කදී මුළු ජීවි­ත­යේම සිදු­වීම් අඩංගු කරන්න ප්‍රායෝ­ගි­කව බැහැ. එත­කොට ඔබ මේ පොතට තෝරා­ගත්තේ මොන­වගේ සිදු­වීම්ද ?

මගේ මත­කය මොන්ටි­සෝරි යන කාලය දක්වා දුර­කට දිවෙ­නවා. සෑම දෙයක්ම නැති වුවත් 2024 දක්වා බොහෝ සිදු­වීම් මෙයට ඇතු­ළත් කළා. මගේ පුංචි අව­ධිය, ගෙදර දොරේ තත්ත්වය, ගමේ තිබුණු තත්ත්වය, පාසල් වේදි­කාව, කැරොල් කණ්ඩා­යම, නාට්‍ය කණ්ඩා­යම, ගීත කණ්ඩා­යම, ඊළ­ඟට මම කොහො­මද ප්‍රසිද්ධ වේදි­කා­වට ආවේ, එහිදී ලබපු අත්දැ­කීම්, මට මුණ­ගැ­හුණු ශ්‍රේෂ්ඨ මිනි­සුන් කවුද, මුහුණ දීපු අභි­යෝග මොන­වාද? දිනුම සහ පැර­දුම යන මේ සියල්ල එක්කර කතා අංග 40ක් ලෙස ලියලා තිබෙ­නවා. තව ඉවර නෑ. තවත් ලියන්න තිබෙ­නවා.

   නාට්‍ය කළ ඔබ පොතක් ලිය­ද්දීත් වෙනස්ම අත්දැ­කී­ම්ව­ලට මුහුණ දෙන්නට ඇති නේද ?

ඔව්, මම මේ වන විට නාට්‍ය 60ක වැඩ කරලා තිබෙ­නවා. වසර 40ක ලොකු කාල­යක අත්දැ­කීම් මට තියෙ­නවා. නාට්‍ය­යක් කියන්නේ සාමූ­හික වැඩක් සහ ඒ සඳහා ක්ෂේත්‍ර ගණ­නා­වක පිරි­සක් එකතු වෙනවා. රංග­නය, ගාය­නය, සංගී­තය, ඇඳුම්, මේකප්, ලයිට් මේ සිය­ල්ලම එකට එකතු වෙන දෙයක්. ඒත් පොතක් ලිවී­මේදී මම තනිව කරන වැඩක්. මගේ කතාව මම පම­ණයි දන්නේ. ඒ නිසා මට හිතෙන අයු­රින් සැබෑම දේ ලිය­න්නට හැකියි. ඒක­පු­ද්ගල වැඩක්. මම ලිව්වා සහ අව­සා­න­යේදී මට අවශ්‍ය විදි­යට පොත මුද්‍ර­ණය කර ගත්තා. නාට්‍ය­යක් කර­න­වාට වඩා ඉතාම වෙනස්.

   පොතට මේවගේ නමක් යෙදුවේ ඇයි ?

මගේ නම රොඩ්නි වර්ණ­කුල. “රොඩ්ඩාගේ කතා පොඩ්ඩ”  කියල මුලින් මම පොතට නම යෙදුවා. ඒත්, මගේ මිත්‍ර අජිත් මෙන්ඩිස් කිව්වා “මචං ඔයාගේ නමම එන අයු­රින් මේකට නම තියන්න” කියලා. ඒ ආකා­ර­යට “රොඩ්ඩාගේ වර්ණ-කුලය” විදි­හට පොතට නමක් ආවා.

   මේවගේ කාල­යක පොතක් කළේ?

පොතක් ලිය­න්නට කාලය තීර­ණය වන්නේ ඒ පුද්ග­ලයා අනු­වයි. ඒව­ගේම පොතක් ඉති­හා­ස­යට සහ සාහි­ත්‍ය­යට එක්වෙ­න්නක්. කොවිඩ් කාල­යේදී පොත ලිවුවා. ඊට පස්සේ හොඳ සුදුසු කාල­යේදී පොත මුද්‍ර­ණය කර­න්නට හිතා­ගෙන අන­වශ්‍ය ඒවා කපලා කොටලා පොත හදලා තිබ්බා. පොතක් එළි­යට ගන්න කාලය හොඳ වෙන්න ඕන. ඒ වගේම ආර්ථි­ක­යත් සුදුසු වෙන්නට ඕනෑ. ඉතින් සුදුසු වේලාව මේක තමයි. ඒව­ගේම ඉදි­රි­යේදී තවත් ලිය­න්නට බලා­පො­රොත්තු වෙනවා. අද හුඟ දෙනෙක් ස්මාර්ට් ෆෝන්ව­ලට ඇබ්බැහි වෙලා. දැන් මුහුණු පොත වගේ සමාජ මාධ්‍යයේ තමා කල්ම­රන්නේ. ඒත්, සාහි­ත්‍යයේ මුද්‍රිත පොත්පත් හැමෝම කිය­වන්න ඕනෑ. ඒකට හුරු­වීම අත්‍ය­ව­ශ්‍යයි. ඒ සඳහා මගේ පොත හේතු­වක් වෙයි කියා හිත­නවා.

   ඉදි­රි­යේ­දීත් ඔබ අතින් පොත් ලිය­වේ­විද ?

පොත ලිවී­මේදී මට අත­හැ­රුණු, මඟ­හැ­රුණු දේවල් තිබෙ­නවා. ඒවා කෙටි කතා ආකා­ර­යෙන් ලිය­න්නට සිත­නවා. තවත් ආකෘ­තීන් හිතට එනවා. මගේ ගම් පළාතේ රස­වත් අත්දැ­කීම් බොහෝ තිබෙ­නවා. මුතු­රාජ වෙල්යාය වගේ වෙන­මම සංස්කෘ­ති­යක් එහි තිබෙ­නවා. ඒවා එක්කර දිගු නව­ක­තා­වක් වුවත් ඉදි­රි­යේදී ලිය­වෙ­න්නට පුළු­වනි.

   ‘රොඩ්ඩාගේ වර්ණ-කුලය’  කල­එළි බසින්නේ කව­දාද?

මෙම ජූලි 30 වැනිදා සවස 4.00ට කොළඹ මහ­ජන පුස්ත­කාල ශ්‍රව­ණා­ගා­ර­යේදී පොත ජන­ගත කර­නවා. මම බොහෝ­දෙ­නෙ­කුට ආරා­ධනා කරලා තිබෙ­නවා. මහා පිරි­සක් පැමි­ණේවි. විවෘත ආරා­ධ­න­ය­කුත් මම කර­නවා. එදි­නට හුදෙක් පොතක් බෙදා­ග­න්නවා පම­ණක් නොවෙයි. අපි නාට්‍ය ගීත ප්‍රසං­ග­ය­කුත් ඉදි­රි­පත් කර­නවා. රස­වත් හැන්දෑ­වක් ගත කරන්න එන්න කියා හිත­ව­තුන් සැමට ආරා­ධනා කර­නවා.

ඉරෝෂා දීපානි