හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය නිරීක්ෂණය මත තබාගත යුතු බවට වන නිර්දේශ හේතුවෙන් බොහෝදුරට ඔහු අද (26) අධිකරණයට ඉදිරිපත් කිරීම නොහැකිවනු ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා සඳහන් කරනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ZOOM තාක්ෂණය ඔස්සේ හෝ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව නීති කෘත්‍ය සඳහා ඉදිරිපත් කරන ලෙසට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළ හොත් ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ හැකි බවයි.
රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව, පොදු දේපළ පනත යටතේ වන චෝදනා මත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 22 වැනිදා අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.
ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් පසුගියදා ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු අතර, වෛද්‍ය නිර්දේශ මත ඊට පසුදින ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා.
ඒ අනුව, මේ වන විට හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහු අද දිනයේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතව තිබෙනවා.
