ශ්‍රී ලංකා – නවසීලන්ත කාන්තා සටන අදයි

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලි‍යේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරගය, පස්වරු 3.00 ට ආරම්භ කෙරෙන අතර, ප්‍රේක්ෂකයින්ට එය නොමිලයේ නැරඹිය හැකියි.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන සිව්වැනි තරගය මෙයයි.

පළමු තරගයෙන් ඉන්දීය කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණු අතර, එංගලන්ත කණ්ඩායම හමුවේ ඔවුන් පරාජය වූයේ, ලකුණු 89 කින්.

අද ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදී පිල වන නවසීලන්තය තරග 3කට ක්‍රීඩා කර එක් තරගයක් ජය ගෙන තිබෙනවා.

ඔවුන් ජය හිමි කර ගත්තේ, පාකිස්තාන කණ්ඩායම පරාජය කරමින්.

මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවත්වා ඇති එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග සංඛ්‍යාව 16 ක්.

ඉන් තරග 13 ක් නවසීලන්තයත්, තරග දෙකක්, ශ්‍රී ලංකාවත් ජය ගත්තා. එක් තරගයක් අවසන්වුණේ, තීරණයකින් තොරවයි.

ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහිව එක් දිනතරග දෙකකම ජය ගෙන තිබෙන්නේ, ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.