ඊශ්‍රායල මාධ්‍ය සහ ආරක්ෂක අංශ සිදුකරන දැනුවත් කිරීම් පිළිබඳව විමසිලිමත්වන ලෙස එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දෙනවා.
මැදපෙරදිග කලාපයේ වර්ධනය වන නොසන්සුන්තාව සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමිනුයි ඔහු මේ බව සඳහන් කරන්නේ.
ඉකුත් වසරේ ජූනි මාසයේ ඉරාන මිසයිල ප්රහාරවලදි කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානි සිදුනොවූයේ ඊශ්‍රායල ආරක්ෂක අංශ සහ තානාපති කාර්යාලය නිරන්තරයෙන් සිදුකළ දැනුවත් කිරීම් හේතුවෙන් බව ඔහු පවසනවා.
එබැවින් යම්හෙයකින් හදිසි මිසයිල ප්‍රහාරයක් හෝ ත්‍රස්තවාදී ක්‍රියාවක් ඇතිවුවහොත් අදාළ ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස නිමල් බණ්ඩාර මහතා එරට සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
අසනීප සඳහා බෙහෙත් භාවිත කරන පිරිස් තම ඖෂධ වර්ග ඉතා ආසන්නයේ තබාගත යුතුයි.
විදුලිය විසන්ධි වීමකින් හෝ අන්තර්ජාල අක්‍රියවීමකින් දුරකතන ක්‍රියා විරහිතවුවහොත් ශ්‍රී ලංකාවේ සිටින පිරිස් අනවශ්‍ය ලෙස කලබලවීමෙන් වළකින ලෙසද ඔහු දැනුම් දෙනවා.
විවෘත ස්ථානවල සේවය කරන පිරිස් සේවා කාලය අතරතුර අනතුරු ඇඟවීමක් ලදහොත් ආසන්නයේම ඇති ආරක්ෂිත ස්ථානයේ රැකවරණය ලබාගන්නා ලෙසයි ඉල්ලා සිටින්නේ.
වාහනවල ගමන් කරන අවස්ථාවක හදිසි තත්වයක් ඇතිවුවහොත් ඉන් බැස ළගම ඇති ආවරණයක් කරා ගමන් කිරීම අත්‍යවශ්‍ය වනවා.
ඉදිරි දිනවල ඊශ්‍රායලයට පැමිණීමට අපේක්ෂා කරන පිරිස් පවතින තත්වය පිළිබඳව විමසිලිමත් වන ලෙසද නිමල් බණ්ඩාර මහතා දැනුම් දෙනවා.
තෛපොංගල් දිනය වෙනුවෙන් හෙට සහ අනිද්දා ඊශ්‍රායල රජයේ සතිඅන්ත නිවාඩුවක් බැවින් තානාපති කාර්යාලය වසා තැබුවද අනපේක්ෂිත හදිසි තත්වයක් ඇතිවුවහොත් තානාපති කාර්යාලය හදිසි සේවා සඳහා විවෘත කර තබන බවයි ඊශ්‍රායලයේ, ශ්‍රී ලංකා තානාපතිවරයා සඳහන් කරන්නේ.
පවතින නොසන්සුන්කාරි තත්වය හේතුවෙන් බොහෝ ගුවන් සමාගම් සිය ගුවන් යානා ඉරාන ගුවන් සීමාව මඟහැර පියාසර කරවීම ආරම්භ කර තිබෙනවා.
ඒ හේතුවෙන් ඊශ්‍රායල සහ මැදපෙරදිග කලාපය හරහා ගමන් ගන්නා සියලු ගුවන් මගීන් සිය ගුවන් ගමන් පිළිබඳව අදාළ ගුවන් සමාගම්වලින් නැවත සනාථ කරගත යුතු වනවා.
ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ක්‍රියාත්මක කරන ෆ්ලයි ඩුබායි සහ එතිහාඩ් ගුවන් යානාද අද නියමිත කාල සටහන් අනුව පියාසර කරන බව ඊශ්‍රායල ටෙල්අවීව් ගුවන් තොටුපල දත්ත සනාථ කරනවා.
එබැවින් ඊශ්‍රායලයේ සිට ශ්‍රී ලංකාවට යාමට අපේක්ෂා කරන පිරිස් මෙන්ම ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලයට පැමිණීමට අපේක්ෂා කරන පුද්ගලයන් තම ගුවන් ගමන් පිළිබඳව විමසා නැවත සනාථ කරගෙන ගුවන් තොටුපළට පැමිණෙන ලෙසද දැනුම් දීමක් කෙරෙනවා.
