කොලොම්බියාවම කඳුළින් තෙත් කළ බිහිසුණු ගුවන් අනතුර

දකුණුදිග කොලොම්බියාවේ සිදුවූ හමුදා ප්‍රවාහන ගුවන් යානා අනතුරකින් පුද්ගලයන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අසූවකට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

හමුදා භටයන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 125 දෙනෙකු රැගත් මෙම යානය ගුවන් ගත වූ විගසම මෙලෙස අනතුරට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පිරිස අතර ආරක්ෂක අංශ සාමාජිකයන් සිටින බවත් සහන සේවා කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් එරට බලධාරීන් තහවුරු කර සිටිනවා.

කොලොම්බියානු ගුවන් හමුදාවට අයත් ඇමරිකාවේ නිෂ්පාදිත සී-130 හර්කියුලිස් වර්ගයේ මෙම යානය පුවර්ටෝ ලෙගුයිසාමෝ (PUERTO LEGUÍZAMO) නගරය ආසන්නයේදී මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී යානය තුළ හමුදා නිලධාරීන් 114 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 11 දෙනෙකු ගමන් කර ඇති බව ගුවන් හමුදාපති පවසනවා.

සුන්බුන් අතරින් පුද්ගලයන් 48 දෙනෙකු කඩිනමින් බේරාගෙන රෝහල්ගත කර ඇති අතර, කලාපීය ආණ්ඩුකාර ජෝන් ගේබ්‍රියෙල් මොලිනා සඳහන් කරන්නේ තුවාල ලැබූ සංඛ්‍යාව 80 ඉක්මවා යන බවයි.

පේරු දේශසීමාව ආසන්නයේ සිදුවූ මෙම ශෝකජනක සිදුවීම සම්බන්ධයෙන් කොලොම්බියානු ආරක්ෂක අමාත්‍ය පේද්‍රෝ සැන්චෙස් සිය කනගාටුව පළ කර සිටිනවා.

මෙම අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වන ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ පවසන්නේ මෙය කිසිසේත් සිදු නොවිය යුතු බිහිසුණු අනතුරක් බවයි.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.