බැංගලූර් පිල පරදා ලක්නව් පිලට සුපිරි ජයක්

ඉන්දීය ප්‍රිමියර්ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ ලක්නව් සුපර් ‍ගේන්ට්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම අතර තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 9 ක ජයක් වාර්තා කිරීමට ලක්නව් සුපර් ගේන්ට්ස් කණ්ඩායම සමත්වුණා.

තරගය ‍ඊයේ පැවැත්වුණේ ලක්නව් හිදී.

වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගයේ පන්දුවාර සංඛ්‍යාව 19 කට සීමා වුණා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ලක්නව් සුපර් ගේන්ට්ස් කණ්ඩායම පන්දුවාර 19 තුළ කඩුලු 3 කට ලකුණු 209 ක් රැස් කළා.

ආරම්භක පිතිකරු මිචෙල් මාර්ෂ් පන්දු 56 කදී වේගවත් ශතකයක් සමගින් ලකුණු 111 ක් ලබාගත්තා. ඊට 6 පහර 9 ක් සහ 4 පහර 9 ක් ඇතුළත්.

නිකොලොස් පුරන් ලකුණු 38 යි. පන්දු යැවීමේදි රෝයල් චැලේන්ජර්ස් බැංගලූර් කණ්ඩායමේ ජෝෂ් හැසල්වුඩ්, කුනල් පාණ්ඩ්‍යා සහ රසික් සලාම් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තරගය ජය ගැනීම සඳහා රෝයල්ස් චැලේන්ජර්ස් බැංගලූර් කණ්ඩායමට පන්දුවාර 19 කදි ලකුණු 213 ක ඉලක්කයක් හිමිවුණා.

එහිදී පන්දුවාර 19 තුළ කඩුලු 6 ක් දැවී ඔවුන්ට ලබාගත හැකිවූයේ ලකුණු 206 ක් පමණයි.

නායක රජට් පටිඩර් ලකුණු 61 යි. ටීම් ජේවිඩ් ලකුණු 40 ක් රැස් කළා. පන්දු යැවීමේදි ලක්නව් සුපර් ගේන්ට්ස් කණ්ඩායමේ ප්‍රින්ස් යාදෙව් කඩුලු 3 ක් දවාගත්තා‍.