යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා රුසියාවට බලපෑම් කිරීමේ නව පියවරක් ලෙස එක්සත් ජනපදය රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙකකට දැඩි සම්බාධක පනවා තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ, රුසියානු නායක ව්ලැදිමීර් පුටින් සමඟ සාම සාකච්ඡාවල ප්‍රගතියක් අත්කර ගැනීමට අසමත් වීම නිසා මෙම සම්බාධක පැනවු බවයි.
එමෙන්ම රුසියාව, ඊයේ යුක්‍රේන නගරවලට එල්ල කළ ප්‍රහාරය මෙම සම්බාධක පැනවීමට තවත් හේතුවක් බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
රුසියානු හමුදාව ඩ්‍රෝන සහ මිසයිල යොදා ගනිමින් යුක්‍රේන කාර්කිව් නගරයට දැවැන්ත ප්‍රහාරයක් ඊයේ එල්ල කළා.
ඉන් ළමුන් දෙදෙනෙකු ඇතුළු 7 දෙනෙකු මියගියා. දේපල හානි රැසක්ද වාර්තා වුණා.
ප්‍රහාරයට ප්‍රථම අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ රුසියානු නායකයා සමඟ හංගේරි රාජ්‍යයේ බුඩපෙස්ට් නගරයේ පැවැත්වීමට සැලසුම් ගත කර තිබු, සටන් විරාම සාකච්ඡා අත්හිටවූ බවයි.
මේ අතර යුක්‍රේනයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙක වන රොස්නෙෆ්ට් සහ ලුකොයිල් වෙත දැඩි සම්බාධක ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ මෙම සමාගම් රුසියාවේ යුද මෙහෙයුම් සඳහා අරමුදල් සැපයීමට උදව් කරන බව පවසමින්.
