ඉන්දුනීසියා මුහුදේ දරුණු ඛේදවාචකයක්

ඉන්දුනීසියාවේ ජාවා මුහුදේ දී පෞද්ගලික මගී ප්‍රවාහන යාත්‍රාවක් ගිලී යාමෙන් 100කට අධික පිරිසක් අතුරුදන්ව තිබෙනවා.

“වර්ගෝ ට්‍රාන්ස්පෝට් 8” නැමැති මෙම යාත්‍රාවෙහි මගීන් 243 දෙනෙකු සිටි බව සඳහන්.

107 දෙනෙකු බේරාගෙන ඇති අතර, අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

මුදා ගත් අය‍ගෙන් 06 දෙනෙකු මියගොස් තිබෙනවා.

යාත්‍රාව මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, ජාවා දූපතේ සුරබායා සිට බොර්නියෝ හි බන්ජර්මසින් වරාය නගරය බලා යාත්‍රා කරමින් තිබියදී.

ඊට නාවික සැතපුම් 81 ක් පමණ දුරකදී යාත්‍රාවේ පාලක මැදිරිය සමඟ පැවති සබඳතා බිඳ වැටී ඇති බවයි, වාර්තා වන්නේ.

එම අවස්ථාවේ මුහුදේ මීටර් දෙකහමාරක පමණ උසකින් යුත් දැවැන්ත රළ හටගෙන තිබූ බව, සඳහන්.

අයහපත් කාලගුණය හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම්වල‍ට බාධා එල්ල වී තිබුණා.

අනතුරට හේතුව මෙතෙක් තහවුරු වී නැහැ.

දූපත් 17,000 කින් සමන්විත ඉන්දුනීසියාවේ ජනතාව වඩාත් ලාභදායී ප්‍රවාහන මාධ්‍යයක් ලෙස මෙවැනි මගී ප්‍රවාහන නෞකා බහුලව භාවිත කරනවා.