මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ උද්ගතව ඇති ආර්ථික අභියෝග සහ ඊට මුහුණදීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ බලශක්ති සැපයුම් ජාල බිඳ වැටීම හේතුවෙන් ලෝකයේ සියලු රටවලට මුහුණ දීමට සිදුව ඇති බලශක්ති අර්බුදය සහ ඒ හමුවේ ඉදිරි මාස කිහිපය තුළ ලෝක ඉන්ධන වෙළෙඳපොළ තුළ ඇති විය හැකි ප්රවණතා පිළිබඳව මෙහිදී පුළුල් ලෙස අවධානය යොමු කෙරිණි.
උද්ගතව ඇති අර්බුදය හමුවේ මෙරට ආර්ථිකයට අවම බලපෑමක් වන පරිදි සහ 2025 වසරේදී ලබා ගත් ආර්ථික ජයග්‍රහණ තිරසාරව ඉදිරියට ගෙන යා හැකි අන්දමින් බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වා ගෙන යාම සහ ආර්ථික හැකිළීම අවම වන පරිදි මිල කළමනාකරණයට ගත හැකි පියවර පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. ඒ සඳහා සහනාධාර ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමේ හැකියාව සොයා බලන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, මහබැංකු අධිපති පී. නන්දාල් වීරසිංහ, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


