එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉරානයට සහ ඊට සහාය දක්වන පාර්ශවයන්ට එරෙහිව දැඩි ආර්ථික සම්බාධක පනවන බවට තර්ජනය කර තිබෙනවා.
හමුදාමය ක්‍රියාමාර්ග ගැන සඳහන් නොකරමින් සිදුකළ මෙම ප්‍රකාශයෙන් පෙනී යන්නේ ඉරානය සමඟ පවතින ගැටුම විසඳා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් අමෙරිකානු පරිපාලනය තුළ පවතින දැඩි අපේක්ෂා භංගත්වය බව විදේශ වාර්තා සඳහන් කරනවා.
ඉරානය සමඟ පවතින සති ගණනාවක ගැටුම්කාරී වාතාවරණය හමුවේ අමෙරිකානු ජනාධිපතිවරයා සිය සමාජ මාධ්‍ය ගිණුම සටහනක් තබමින් මෙලෙස දැඩි ආර්ථික මෙහෙයුමකට සූදානම් වන බව පවසා තිබෙනවා.
මීට පෙර හමුදා බලය යොදවා ඉරානය විනාශ කරන බවට තර්ජනය කළ ද, මෙවර ඔහු අවධානය යොමුකර ඇත්තේ ආර්ථික මර්දනය කෙරෙහි පමණක් බවයි වාර්තා වන්නේ.
විශේෂයෙන්ම ඉරානය සමඟ සම්බන්ධකම් පවත්වන ඕනෑම පාර්ශවයකට දැඩි ආර්ථික විපාකවලට මුහුණ දීමට සිදුවන බවට ඔහු අනතුරු අඟවනවා.
කෙසේ වෙතත් මෙම ආර්ථික සම්බාධක ක්‍රියාත්මක කරන නිශ්චිත ක්‍රමවේදය පිළිබඳව කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය කර නැහැ.
මේ අතර ආරක්ෂක වියදම් ඉහළ යාම හේතුවෙන් එක්සත් ජනපද රාජ්‍ය ණය ප්‍රමාණය ඉතිහාසයේ පළමු වරට ඩොලර් ට්‍රිලියන 40 සීමාව පසුකර ඇති බව භාණ්ඩාගාර දත්ත ඇසුරින් වාර්තා වෙනවා.
මාස හයකට ආසන්න කාලයක් තිස්සේ ඉරානයට එරෙහිව පවත්වාගෙන යන යුදමය ක්‍රියාමාර්ග සඳහා අධික ලෙස මුදල් වැයවීම මීට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.
මීට අමතරව ගාසා තීරයේ පොලිස් මූලස්ථානයකට ඉශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් කාන්තා පොලිස් ප්‍රධානියා ඇතුළු පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදේශ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
