කැලණිය, ගම්පහ ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්

කැලණිය සහ ගම්පහ ප්‍රදේශ රැසකට ලබන හෙට (14) දින පැය 13යි විනාඩි 30ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව, බියගම ජල පවිත්‍රාගාරයට විදුලිය සපයන පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එදින පෙරවරු 8.30 සිට රාත්‍රී 10.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

මෙම ජල කප්පාදුවට පැළියගොඩ, වත්තල – මාබෝල, ජාඇල සහ කටුනායක – සීදූව නගර සභා බල ප්‍රදේශ ඇතුළත්.

ඊට අමතරව කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ සහ ජාඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙන්ම කටාන, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල කොටසකට ද ජල සැපයුම අත්හිටුවනු ඇත.

ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳව කනගාටුව පළ කරන ජලසම්පාදන මණ්ඩලය, කල්තියා ජලය රැස්කරගෙන අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.