ගලෙන්බිඳුණුවැව ගොවි බිම් රැකගන්න ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් විශේෂ වැඩපිළිවෙලක්

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වගා කටයුතු අඩාල වීමට නොදී පවත්වාගෙන යාම සඳහා ප්‍රාදේශීය ලේකම්වරයාගේ සෘජු මැදිහත්වීමෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.

ඉන්ධන හිඟය හේතුවෙන් වගාවන් සඳහා ජලය සැපයීමට නොහැකි වීම සහ අස්වනු නෙළීමේ කටයුතු ප්‍රමාද වීම සම්බන්ධයෙන් ගොවි ජනතාව කළ ඉල්ලීම් සලකා බලමින් මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල් ඒකාබද්ධ කරමින් ගොවීන්ගේ කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දීම දැන් සිදු කෙරේ.

විශේෂයෙන්ම ජල පොම්ප භාවිතයෙන් වගා කටයුතු කරන ගොවීන්ට අවශ්‍ය භූමිතෙල් ලබා දීම මෙන්ම, කුඹුරු සී සෑමේ නිරත ටැක්ටර් රථ සහ අස්වනු නෙළන ගොයම් කපන යන්ත්‍ර සඳහා අවශ්‍ය ඩීසල් ඉන්ධන ප්‍රමුඛතාවය මත නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

මෙම වැඩපිළිවෙල හේතුවෙන් කාලයක සිට පීඩාවට පත්ව සිටි ගලෙන්බිදුණුවැව සහ ඒ අවට ප්‍රදේශවල ගොවීන්ට සිය වගා කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකි වී ඇති අතර, මේ සඳහා ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු නිලධාරීන් ලබා දෙන සහයෝගය ප්‍රදේශයේ ගොවි සංවිධානවල ඇගයීමට ලක්ව තිබේ.