ගීතයෙන් ලොවක් සුවපත් කළ ”ගී කෙවිලිය” දිවි ගමනට සමුදෙයි

දකුණු ඉන්දීය සිනමාවේ “ගී කෙවිලිය” ලෙස විරුදාවලි ලත් ප්‍රවීණ ගායන ශිල්පිනී එස්. ජානකී මහත්මිය සිය ජීවන ගමන නිමා කර තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විය ඇය 88 වැනි වියේ පසුවූවා.

දශක කිහිපයක් පුරා ඉන්දීය සංගීත ක්ෂේත්‍රයට අසීමිත දායකත්වයක් ලබාදුන් එස්. ජානකී මහත්මිය සිය දිවිය තුළ ගීත 40,000කට අධික සංඛ්‍යාවක් ගායනා කරමින් ලොව පුරා සිටින සංගීත ලෝලීන්ගේ නොමැකෙන ආදරය දිනාගත් කලා ශිල්පිනියක්.

එමෙන්ම එතුමිය ලාංකීය රසිකයන්ගේද හදවත් දිනාගත් කලාකාරිනියක් වූවාය.

1959 වසරේ තිරගත වූ “සිහිනය” සිංහල චිත්‍රපටය වෙනුවෙන් ඇය මොහිදීන් බෙග් සමඟ ගායනා කළ “මල් පීදී ප්‍රේම වෘක්ෂයේ” ගීතය ලාංකීය රසිකයන් අතර අතිශය ජනප්‍රියයි.

එසේම ඇය “අහිංසක ප්‍රයෝගය” චිත්‍රපටය සඳහා “හඳිණි සුරබුන්ගේ” නම් සිංහල ගීතයටද තම දායකත්වය ලබා දී තිබෙනවා.

එමෙන්ම ඉන්දීය ජාතික සිනමා සම්මාන 4ක් මෙන්ම විවිධ ප්‍රාන්ත සම්මාන 33කට අධික සංඛ්‍යාවකින් ඇය පිදුම් ලැබීය.

භාෂා රැසකින් ගීත ගායනා කළ එස්. ජානකී මහත්මිය ඉන්දීය සංගීත ඉතිහාසයේ අමරණීය හඬක් ලෙස සැලකේ.