ගුවන්තොටුපළ ප්‍රවේශ මාර්ග ජලයෙන් යටවීමේ ගැටලුවට කඩිනම් ක්‍රියාමාර්ග

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පිවිසෙන මාර්ග ජලයෙන් යටවීමේ ගැටලුව සම්බන්ධයෙන් පසුගියදා (28) නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ මූලිකත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවේදී ගත් තීරණ අනුව, ඒ සඳහා පත්කළ කාර්යසාධක බලකායේ මූලිකත්වයෙන් ඊයේ (04) දින ප්‍රදේශයේ ඇළ මාර්ග පිරිසිදු කිරීමේ සහ ඒවායේ ධාරිතාව වැඩිදියුණු කිරීමේ කටයුතු ආරම්භ කෙරුණා.

අදාළ ආයතන එක්ව මෙම ගැටලුව සඳහා කඩිනම් විසඳුම් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති අතර, ඇළ මාර්ගවල පවතින අවහිරතා ඉවත් කිරීම, ඒවායේ ධාරිතාව ඉහළ නැංවීම සහ වැසි ජලය ගලායාම විධිමත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.

මෙම ක්‍රියාමාර්ග මගින් ගුවන්තොටුපළ ප්‍රවේශ මාර්ග ජලයෙන් යටවීම අවම කිරීමට පමණක් නොව, අධික වර්ෂාපතන අවස්ථාවලදී අවට ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන ගංවතුර අවදානම ද සැලකිය යුතු ලෙස අවම කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ගුවන් මගීන් සහ මහජනතාව මුහුණ දෙන අපහසුතා අවම කිරීම සඳහා කෙටිකාලීන ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කරන අතරම, ගැටලුවට ස්ථිර හා තිරසාර විසඳුම් ලබාදීම සඳහා දිගුකාලීන වැඩපිළිවෙළක් ද අදාළ ආයතනවල සහයෝගයෙන් ඉදිරියට ගෙන යාමට නියමිතය.