දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රිමාන්ඞ් භාරයට පත්කර සිටි හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කළා.
ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රත් අසංග එස් බෝදරගම මහතා කියා සිටියේ දූෂණ විරෝධී පනතේ 149 (1) වගන්තිය ප්‍රකාරව මෙම සැකකරුට ඇප ප්රදානය කිරීමට තරම් සුවිශේෂී කරුණු අධිකරණයට ඉදිරිපත් වී නොමැති බවයි.
ඒ අනුව සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන චාමර සම්පත් දසනායක මහතාගේ පුද්ගලික ලේකම්වරයා වන සුමතිපාල ලියනාරච්චි මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා විසින් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කළා.
ඇප ඉල්ලීම ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ මෙම සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ මුල් බී වාර්තාව සහ අවසාන වැඩිදුර වාර්තාව අතර පවතින කරුණු එකිනෙකට පරස්පර බවයි.
එසේම මෙම අල්ලස් මුදල ලබාදුන් බව කියන දිනේෂ් පෙරේරා නැමැත්තාගෙන් අල්ලස් කොමිසම විසින් ඉකුත් වසරේ ජුනි මස 24 වනදා අල්ලස් කොමිසම ප්‍රකාශයක් සටහන් කර ගත් බවත් එම ප්‍රකාශය තුළින් අදාළ පුද්ගලයා මෙම මුදල් පළමුවන සැකකරුට ලබා දී තිබෙන්නේ චාමර සම්පත් දසනයක මහතාගේ දේශපාලන කටයුතු ප්‍රවර්ධනයට බවට සඳහන් කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.
එම කරුණ අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව තුළින් වසන් කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඒ අනුව මෙම සැකකරුට එරෙහිව අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජෙනරාල් වරයා විසින් දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය යටතේ ඉදිරිපත් කළ සහතිකය නීතියට පටහැනි බවත් පෙන්වා දුන්නා.
ඒ අනුව අදාළ කරුණු සුවිශේෂී කරුණු සේ සලකා සිය සේවාදායකයා ඇප මත මුදා හරින ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
නමුත් එම කරුණු ප්‍රතික්ෂේප කල අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් දිනේෂ් පෙරේරා නමැත්තාගෙන් ප්‍රකාශ සටහන් කරගත් පසු දිනම ඔහු විදේශගත වී තිබෙන බවත් මෙම නඩුකරයට පාදක වන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන නොමැති බවත් පැවසුවා.
අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජෙනරාල් වරයාගේ සහතිකය මෙම අධිකරණය හමුවේ අභියෝගයට ලක් කර නොහැකි බවත් එය සිදු කළ හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී පමණක් බවත් මෙහිදී සහකාර නීති අධ්‍යක්ෂවරිය පැවසුවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත් වරයා සුමතිපාල ලියනආරච්චි නැමති සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 27 වනදා ප්‍රකාශයට පත් කරන බව නියෝග කළා.
පොස්පේට් අපනයනය කිරීම සඳහා පෞද්ගලික සමාගම් තුනකට අවශ්‍ය බලපත්‍ර ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 81 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චාමර සම්පත් දසනායක , ඔහුගේ පුද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ සුමතිපාල ලියනආරච්චි ඇතුළු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
