දෙහිවල අත්බෝම්බ ප්‍රහාර සිද්ධියට සැකකරුවන් 2ක් අත්අඩංගුවට

අත්බෝම්බයක් එල්ල කර ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය (11) වන දින දෙහිවල පොලිස් වසමේදී නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර දරුවන් දෙදෙනෙකු ඝාතනය කිරීම හා ඔවුන්ගේ පියාට බරපතල තුවාල සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

දෙහිවල, නැදිමාල හා කළුබෝවිල ප්‍රදේශවලදී ඊයේ (14) දින ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 52 ක් හා ජංගම දුරකතනයක් සමඟ අත්අඩංගුවට ගෙන දෙහිවල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

සැකකරුවන් අවුරුදු 28 හා 36 වයස්වල පසුවන කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

විදේශ රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත එක් සැකකරුවෙකු මෙම අපරාධයට යොදා ගත් ත්‍රීරෝද රථය අලුත්වැඩියාව සඳහා ගරාජයක් වෙත රැගෙන ගිය අයෙකු වන අතර අනෙක් සැකකරු එම ගරාජයේ හිමිකරු වේ.

දෙහිවල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.