තද සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ගිනිකොනදිග බෙංගාල බොක්ක සහ ඊට යාබද නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට සුළි කුණාටුවක් දක්වා දක්වා වර්ධනය වීම හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.
මෙම ‘අක්වාන්’ සුළි කුණාටුව ඊයේ (16) පස්වරු 5.30 පමණ වන විට උතුරු අක්ෂාංශ 12.2° සහ නැගෙනහිර දේශාංශ 85.7° ආසන්නයේ කේන්ද්‍රගතව පැවතිණි.
එය තවදුරටත් උතුරු-වයඹ දෙසට ගමන් කරමින් අද (17) පස්වරු 5.30 පමණ වන විට බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට ඉතා ඉහළ හැකියාවක් පවතී.
ඉන් අනතුරුව, මෙම පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් 19 වැනිදා පෙරවරු 5.30 පමණ වන විට ඉතා ප්‍රබල සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇත.
වයඹ දෙසට ගමන් කරන මෙම පද්ධතිය නොවැම්බර් 20 වැනිදා පෙරවරු 11.30 පමණ වන විට ඉතා දරුණු සුළි කුණාටුවක් ලෙස ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් සහ යනාම් වෙරළ තීරයේ තෙල්ලෝර් සහ ටුනි අතරින් ගොඩබිමට ඇතුළු වීමට ඉඩ ඇති බවට පුරෝකථනය කර තිබේ.
එබැවින්, උතුරු අක්ෂාංශ 05°ත් 17°ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80°ත් 90°ත් අතර මුහුදු ප්‍රදේශවල මෙන්ම කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල ද නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස දැනුම් දී තිබේ.
එම මුහුදු ප්‍රදේශවල දැනටමත් ධීවර හා නාවික කටයුතුවල නිරතව සිටින පිරිස් වහාම ආරක්ෂිත ස්ථාන කරා යාත්‍රා කරන ලෙස ද උපදෙස් ලබා දී ඇත.
මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි කාලගුණ අනාවැකි සහ නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස ද ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර අද (17) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඌව පළාතෙත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතිය හැකි අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද සඳහන්.
