උතුරු පළාතේ සෞඛ්‍ය පද්ධතිය සවිබල ගැන්වීම සහ ප්‍රතිකාර සේවා විධිමත් සහ පුළුල් කිරීමට පියවර ගනිමින් වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ රුපියල් මිලියන 170.04ක වියදමින් හෙද නිල නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රදේශයේ දේශපාලන නායකත්වයේ සහභාගීත්වයෙන් අද (17) පෙරවරුවේ සිදු කෙරිණි.
හෙද නිල නිවාස ප්‍රමාණවත් පරිදි නොමැති වීමෙන් වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ හෙද කාර්ය මණ්ඩලය දීර්ඝ කාලයක් පුරා දැඩි අපහසුතාවයන්ට පත් ව සිටි අතර, එම ගැටළුවට විසඳුමක් ලෙස වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලට මෙම නව හෙද නිල නිවාස සංකීර්ණය ඉදිකිරීම සඳහා සැලසුම් කරනු ලැබීය. මේ යටතේ මෙම නිල නිවාස සංකීර්ණයෙන් හෙද කාර්ය මණ්ඩලයේ 48 දෙනෙකු සඳහා නේවාසික පහසුකම් සැපයිය හැකි පරිදි ඉදිකෙරෙන අතර, මෙම සංකීර්ණය 2027 ජුනි මාසය වන විට ඉදිකර අවසන්කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
වව්නියාව, මුලතිව්, කිලිනොච්චි, යාපනය, මන්නාරම යන උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ සෞඛ්‍ය පද්ධතියේ වැදගත් දින 04 ක් ගත වන බවත්, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කයේ ඉන්දීය රජයේ සහ රජයේ මුල්‍ය ප්‍රතිපාදන මත රුපියල් මිලියන 1500 ක පමණ ව්‍යාපෘති 02 ක් ඊයේ දින ආරම්භ කළ බවත්, ඉදිරි දින 03 තුළ රුපියල් මිලියන 1000 ව්‍යාපෘති ආරම්භ කිරීමට සහ විවෘත කිරීමට කටයුතු සිදු කරන බව මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී පැවසීය.
ඉන් එක් ව්‍යාපෘතියක් ලෙස මෙම පළාත් සභා අරමුදල් යටතේ රුපියල් මිලියන 170.04ක වියදමින් වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ මහල් 04 කින් යුත් හෙද නිල නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ ව්‍යාපෘතිය පෙන්වා දිය හැකි බව පැවසූ අමාත්‍යවරයා අවශ්‍ය ඉතිරි මුදල් ද ලබාදීමට කටයුතු කරන බව ද ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් උපරිම මුදල් ලබාදීමට රජය කටයුතු කරන බව ද පැවසීය.
රෝහලේ හදිසි අනතුරු හා භදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිරි කටයුතු රුපියල් මිලියන 235 ක මුදලක් වෙන් කර ආරම්භ කිරීමට අරමූණු කරන බවත්, උතුරු පළාතට සෞඛ්‍ය කාර්ය සහායකයින් 300 ක් සඳහා හෙට දින පත්වීම් ලබාදෙන බවත්, ඒ තුළින් පවතින සැලකිය යුතු ගැටළුවකට විසදුම් ලැබෙන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
රෝහල් සඳහා නව උපකරණ ලබාදීම සදහා කටයුතු කරන බවත්, ලබන අය-වැයෙන් ඒ සදහා මුදල් වෙන් කරන බවත්, කල් ඉකුත්වීමට ආසන්න උපකරණ වේ නම් එම උපකරණ ද කඩිනම් ඉල්ලුම් කරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
උතුරු පළාත් ආණ්ඩුකාර නගලිංගම් වේදනායගම් (Nagalingam Vethanayahan) මහතා ද මෙහිදී උත්සව සභාව අමතමින් අදහස් දක්වන ලදි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ භෞතික සම්පත් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ උතුරු පළාත් ආණ්ඩුකාරතුමාගේ ද උපදේශකත්වයෙන් උතුරු පළාත් සභාවේ අරමුදල් භාවිතා කරමින් මෙම ඉදිකිරීම් කරන අතර, රෝහල් හා අනෙකුත් සෞඛ්‍ය ආයතනවල සේවා කාර්යක්ෂමව ඉහළ නැංවීම තුළින් මෙරට ජනතාවට ගුණාත්මක, විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබාදීමේ රජයේ වැඩපිළිවෙල යටතේ මෙම කටයුතු සිදු වේ.
මෙම මුල්ගල් තැබීමෙි අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු අන්‍යාගමික පූජකතුමන්ලා, උතුරු පළාත නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, උතුරු පළාත් ආණ්ඩුකාර නගලිංගම් වේදනායගම් (Nagalingam Vethanayahan), උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනූජා මුරුගේසන් (Mrs. Thanuja Murugeson), උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය වී.පී.එස්.ඩී. පතිරණ (Dr. V.P.S.D. Pathirana), වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ , විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද කාර්ය මණ්ඩලය ඇතූළු පිරිසක් එක්ව සිටියහ.
