
විස්සයි20 තරගවලදී ‘පවර්ප්ලේ’ ඕවර ගණනය කිරීමේ නව නීතියක් හඳුන්වාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) කටයුතු කර ඇත. එමෙන්ම ටෙස්ට් තරගවලදී ඕවරයක් නිමාවී තත්පර 60ක් ඇතුළත ඊළඟ ඕවරය ආරම්භ නොකළහොත් ලකුණු 5ක් ප්‍රතිවාදි පන්දුවට පහරදෙන කණ්ඩායමට එකතු කිරීමේ දඬුවම් නීතියක් පැනවීමට ද පියවරගෙන ඇත.
වර්ෂාව හෝ වෙනත් සාධක හේතුවෙන් විස්සයි20 තරගයකදී ඕවර ගණන අඩු කිරීමට සිදුවුවහොත් මේ නව ‘පවර්ප්ලේ’ නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට සියලු රටවලට උපදෙස්දී ඇති අතර, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර හෙට (2) තරග තුනකින් යුත් එක්දින තරගාවලියේදී හා මේ 10 වැනිදා සිට පැවැත්වෙන තරග තුනකින් යුත් විස්සයි20 තරගාවලියේදී නව නීතිවල ආරම්භක දින ලෙස ප්‍රකාශයට පත්කොට ඇත.
එමෙන්ම පන්දුවක් හෙල්මටයේ වැදීමෙන් පසු මොළයේ කම්පනයක් ඇති බවට හඳුනාගත් ක්‍රීඩකයන් සඳහා අවම වශයෙන් දින හතක විවේක කාලයක් අනිවාර්ය කර ඇති අතර, පෙර ක්‍රීඩකයාට සමාන වූ අයිතිවාසිකම් ලැබෙන පරිදි ක්‍රීඩකයකු ආදේශ කළ හැකිය. මීට පෙර ක්‍රීඩකයකු එලෙස ඉවත් වූයේ නම්, ඔහු සුවය ලැබීමෙන් පසු ඊළඟ තරගයට ක්‍රීඩා කළ හැකි නමුත් නව නීති අනුව එසේ නොවේ.
වර්තමානයේ, ඕවර 20ක ඉනිමක පළමු ඕවර හය පවර්ප්ලේ ක්‍රමයට අයත් වන අතර, එම කාලය තුළ යාර 30 කවයෙන් පිටත පන්දු රකින්නන් දෙදෙනකුට පමණක් අවසර දෙනු ලැබේ. සංශෝධිත නීතිරීති යටතේ, පවර්ප්ලේ ගණනය කරනු ලබන්නේ ආසන්නතම ඕවරය වෙනුවට ආසන්නතම පන්දුවට වේ. මෙමඟින් පවර්ප්ලේ කාලසීමාව වැඩි කාලයක් පවතින බව සහතික කෙරෙන අතර, දළ වශයෙන් මුළු ඕවරවලින් සියයට 30ක අවස්ථාවක් හිමි වේ. උදාහරණයක් ලෙස, ඕවර අටක තරගයකදී වෙනදා පවර්ප්ලේ ඕවර තුන වෙනුවට නව නීති අනුව ඕවර 2.2ක් වනු ඇත.
නව නීතිරීතිවලට අනුව ඕවර 5ක තරගයක පවර්ප්ලේ අවස්ථාව ඕවර් 1.3කි. එය ඕවර 6ක් නම් පවර්ප්ලේ ඕවර 1.5ක්, ඕවර 7ක තරගයක් නම් පවර්ප්ලේ ඕවර 2.1ක්, ඕවර 8කදී පවර්ප්ලේ ඕවර 2.2ක්, ඕවර 9ක තරගයකදී පවර්ප්ලේ ඕවර 2.4ක්, ඕවර 10ක තරගයක ඕවර 3ක්, ඕවර 11ක් නම් පවර්ප්ලේ ඕවර 3.2ක්, ඕවර 12ක් නම් පවර්ප්ලේ ඕවර 3.4ක්, ඕවර 13කදී පවර්ප්ලේ ඕවර 3.5ක්, ඕවර 14කදී පවර්ප්ලේ ඕවර 4.1ක්, ඕවර 15කදී පවර්ප්ලේ ඕවර 4.3ක් හා ඕවර 16ක තරගයකදී පවර්ප්ලේ ඕවර 4.5ක් වශයෙන් නියමකොට ඇත. මේ ක්‍රමය වසර ගණනාවක් තිස්සේ එංගලන්තයේදී සාර්ථකව භාවිත කර ඇති හෙයින් අයිසීසී ක්‍රිකට් කමිටුව විසින් මේ නව නීතියට අනුමැතිය ලබා දී තිබේ.
ටෙස්ට් තරගයකදී පෙර ඕවරය අවසන් වී තත්පර 60ක් ඇතුළත සෑම ඕවරයක්ම ආරම්භ කිරීමට පන්දු රැකීමේ කණ්ඩායම සූදානම් විය යුතු අතර, බිංදුවේ සිට 60 දක්වා තත්පර ගණන් කරන ඉලෙක්ට්‍රොනික ඔරලෝසුවක් පිටියේ ප්‍රදර්ශනය කෙරේ. මේ නීතියට අනුකූල නොවන පන්දු රකින කණ්ඩායමට අනතුරු ඇඟවීම් දෙකක් ලබා දෙන අතර, තුන්වන වරටත් උල්ලංඝනය කළහොත්, පිතිකරණ කණ්ඩායමට දඬුවම් ලකුණු පහක් එකතු කරනු ඇත. ඕවර 80 අවසන් වූ පසු ලබා ගන්නා නව පන්දුවේදී මේ අනතුරු ඇඟවීම් බිංදුව කොට නැවත සකසන බව අයිසීසී සඳහන්කොට ඇත.