දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධන මහතාට එක් එක් නඩුවට බරපතල වැඩ සහිත වසර හතර බැගින් කොළඹ මහාධිකරණය විසින් සිරදඬුවම් නියම කළා.
ඊට අමතරව එම නඩු සඳහා සරණ ගුණවර්ධන මහතාට රුපියල් ලක්ෂ 18 ක දඩයක්ද අධිකරණය විසින් නියම කළා.
නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.
2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයට වාහන තුනක් කුලී පදනම මත ලබා ගැනීමේදී ඒවායේ හිමිකරුවන්ට වාසියක් සැලසෙන ආකාරයෙන් කටයුතු කරමින් රජයට පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට විරුද්ධව මෙම නඩුව හතර ගොනු කර තිබුණා.
තීන්දුව ප්රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් එල්ල කර තිබූ දූෂණ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට පැමිණිල්ල විසින් ඔප්පු කර තිබෙන බවයි.
රාජ්ය ආයතනවල සිදුවන දූෂණ රටේ ආර්ථිකය කෙරෙහිද අගතියක් සිදුවන බවත් ආර්ථිකය බංකොලොත් වීමක් කෙරෙහි මෙවැනි ක්රියා බලපෑ බවත් නඩු තීන්දුවේ සඳහන් වුණා.
රාජ්ය ආයතන වල සිදුවන මෙවැනි දූෂිත ක්රියා එම ආයතන කෙරෙහි පවතින ජනතා විශ්වාසය බිඳ වැටීමට හේතු වන බවත් විනිසුරුවරයා පැවසුවා.
මෙම විත්තිකරුට දඩුවම් නියම කිරීමේදී අපරාධ නඩු විධාන සංග්රහයේ 303වන වගන්තිය යටතේ ලිහිල්ව කටයුතු කරන ලෙස විත්තිය නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා.
නමුත් මෙම වරදේ ස්වභාවය පිළිබඳව සලකා බැලීමේදී රාජ්ය ආයතනවල සිදුවන දූෂණය අධෛර්යමත් කිරීමට හේතුවන ආකාරයේ දඬුවමක් ලබාදීමට අධිකරණයට සිදුවන බවත් විනිසුරුවරයා ප්රකාශ කළා.
