අමෙරිකාව සහ ඉරානය සාම ගිවිසුමකට එළඹීමට එකඟ වී තිබෙනවා.
එම ගිවිසුම ලබන 19 වැනිදා ස්විට්සර්ලන්තයේදී අත්සන් තැබීමට නියමිතයි. ඒත් සමග පසුගිය පෙබරවාරි 28 වැනිදා සිට පැවති ඇමෙරිකා – ඉරාන යුදමය තත්වය නිමවනු ඇති.
මෙම ඓතිහාසික එකඟතාවය “ඉස්ලාමාබාද් අවබෝධතා ගිවිසුම” ලෙස නම් කර තිබෙනවා. ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කළ හොර්මුස් සමුද්‍ර සන්ධිය සඳහා පනවා තිබූ නාවික අවහිරතා වහාම ඉවත් කිරීමට දෙපාර්ශවයම එකඟ වුණා.
ඒ, සමඟ නිදහස් වෙළඳ නාවික ගමනාගමනය නැවත ආරම්භ කිරීමට නියමිතයි. මැදපෙරදිග කලාපය පුරා දින සියයකට අධික කාලයක් පැවති සන්නද්ධ ගැටුම් නිමා කරමින් එළඹුණු මෙම එකඟතාවය කලාපීය ස්ථාවරත්වයට බලවත් සහනයක් වනු ඇති බවයි, විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
එය ගෝලීය බලශක්ති වෙළඳපොළටද විශාල සහනයක් වන බවයි, විශ්ලේෂකයින් පවසන්නේ. මෙම රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශයත් සමඟ ඉරාන සන්නද්ධ බලකායන් විශේෂ ප්‍රකාශය සිදු කළා. වත්මන් තත්ත්වය හමුවේ අමෙරිකාවට සහ ඊශ්‍රායලයට පරාජය මෙන්ම යටත් වීම පිළිගැනීම හැර වෙනත් විකල්පයක් නැති බවයි ඔවුන් පවසන්නේ.
පසුගිය මාස කීපය පුරා අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට දරුණු ගුවන් ප්‍රහාර එල්ල කළා.
එම ප්‍රහාර “ඔපරේෂන් එපික් ෆියුරි” සහ “ඔපරේෂන් රෝරින්ග් ලයන්” යන කේත නාමයන් යටතේ ක්‍රියාත්මක වුණා. එහිදී ඉරාන උත්තරීතර නායක ආයතුල්ලා අලි කමේනි ඇතුළු ඉහළ පෙළේ ආරක්ෂක ප්‍රධානීන් රැසක් ජීවිතක්ෂයට පත්වුණා.
ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය ඊශ්‍රායලයට සහ ඇමෙරිකානු හිතවාදී ගල්ෆ් කලාපීය රටවලට ප්‍රහාර එල්ල කළා.
එමෙන්ම බහරේන්, කටාර් සහ සයිප්‍රස් වැනි රටවල පිහිටි බ්‍රිතාන්‍ය ආරක්ෂක කඳවුරුවලටද ඉරානය පහර දුන්නා. මෙම ප්‍රහාරත් සමඟ හොර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගත්තා.
මෙම එකඟතාව ගොඩනැඟීමට පාකිස්ථානය සහ කටාර් රාජ්‍යය ප්‍රමුඛව මැදිහත් වූ අතර සෞදි අරාබිය, ඊජිප්තුව සහ තුර්කියද ඒ සඳහා රාජ්‍ය තාන්ත්‍රික දායකත්වයක් ලබා දුන්නා.
අනතුරුව දෙපාර්ශ්වය අතර පැය පහළොවකට ආසන්න කාලයක් පැවති දීර්ඝ සාකච්ඡා වලින් පසු මෙම එකඟතාව ගොඩනැඟීමට හැකිව තිබෙනවා.
මෙම ගිවිසුම ප්‍රකාශයට පත් කිරීමට මොහොතකට පෙරත් ඊශ්‍රායලය විසින් ලෙබනනයේ බීරූට් නුවරට දරුණු ගුවන් ප්‍රහාරයක් එල්ල කරමින් සාම ක්‍රියාවලිය අඩාල කිරීමට උත්සාහ කළා.
එහෙත් ලෙබනන් පෙරමුණ ඇතුළු සියලුම සටන් බිම්වල මිලිටරි ක්‍රියාකාරකම් ස්ථිර ලෙසම නතර කිරීමට ඇමෙරිකානු පරිපාලනය එකඟ වී තිබෙනවා.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ඉරානය සමඟ ඇති කරගත් එකඟතාවය මේ වන විට සම්පූර්ණ කර ඇති බැවින්, හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා කිසිදු ගාස්තුවකින් තොරව ජාත්‍යන්තර නැව්වලට යාත්‍රා කිරීමට වහාම අවසර ලබාදෙන බවයි.
කෙසේ වෙතත්, නිල සාම ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව ක්‍රියාත්මක වන දින හැටක විශේෂ නිරීක්ෂණ සහ තහවුරු කිරීමේ කාලසීමාවක් ප්‍රකාශයට පත් කර ඇති බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාසෙම් ගරිබාබාදි මහතා පවසනවා.
මෙම දින හැටක කාලය ඇතුළත ඇමෙරිකාව විසින් පනවා ඇති නාවික අවහිරතා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමටත්, ඉරාන තෙල් මිලදී ගැනීම් සඳහා පනවා ඇති බාධා ඉවත් කර ඇමෙරිකාව සන්තකයේ පවතින ඩොලර් බිලියන විසිහතරක අත්හිටුවන ලද ඉරාන මුදල් නිදහස් කිරීමටත් සාකච්ඡා කළ යුතු බව ඉරානය අවධාරණය කරනවා.
එහෙත්, ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී වෑන්ස් මහතා සහ ධවල මන්දිර ප්‍රකාශකයින් කියා සිටින්නේ ඉරානය තම බැඳීම් සම්පූර්ණයෙන් ඉටු කරන තෙක් කිසිදු ශුද්ධ මුදලක් නිදහස් නොකරන “ක්‍රියාකාරීත්වය මත පදනම් වූ” ගිවිසුමක් ලෙස මෙය සකසා ඇති බවයි.
ඉරානය සතු දිගුදුර මිසයිල වැඩසටහන හෝ කලාපීය සන්නද්ධ කණ්ඩායම් සඳහා ලබාදෙන සහයෝගය පිළිබඳව සාකච්ඡා කිරීමෙන් ඉරානය බැහැර වී සිටින පසුබිමක, ඉදිරි දින හැටක කාලය තුළ ඉරානයේ යුරේනියම් තොග තනුක කිරීම සහ න්‍යෂ්ටික වැඩසටහන විසුරුවා හැරීමේ තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳව අවධානය යොමු කරන බව ඇමෙරිකානු පාර්ශවය සඳහන් කරනවා.
සාම ගිවිසුම් යෝජනාව ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහත වැටුණා.
බ්‍රෙන්ට් බොරතෙල් මිල සියයට හතරකින් සහ ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් මිල සියයට හතරයි දශම හයකින් පහත වැටී ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ.
එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර්, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මෙන්ම ජපානය, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල රාජ්‍ය නායකයින්ද මෙම සාම ගිවිසුම උණුසුම් ලෙස පිළිගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම සාමකාමී එකඟතාවය තමන්ට එල්ල වූ දරුණු උපායමාර්ගික පරාජයක් ලෙස සලකන ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ රජය සහ එරට දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම් මෙම ගිවිසුම පිළිබඳව දැඩි නොසන්සුන්තාවයකින් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
