සිංගප්පූරු විශේෂඥයින්ගෙන් මෙරටට විශේෂ පුහුණුවක්

දැඩිසත්කාර ඒකක තුළ උග්‍ර වකුගඩු ආබාධ තත්ත්වයන්ට පත්ව (acute kidney injury -AKI) ප්‍රතිකාර ලබන වකුගඩු රෝගීන් කළමණාකරණය කිරීම සඳහා ලබාදෙනු ලබන අඛණ්ඩ වකුගඩු ප්‍රතිස්ථාපන චිකිත්සාව (Continuous Renal Replacement Therapy – CRRT ) සම්බන්ධව මෙරට සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා වූ විශේෂ පුහුණූ වැඩමුළුවක සමාරම්භය පසුගියදා කොළඹ ජාතික රෝහල් ශ්‍රවණාගාරයේ දී සිදු විය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා නිර්වින්දන සහ දැඩිසත්කාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ සිංගප්පූරු‌වේ සිංහෙල්ත් (SingHealth) යටතේ පවතින සිංගප්පූරු මහ රෝහල (Singapore General Hospital) සමග එක්ව නව සහයෝගීතාවයකින් මෙම පුහුණු වැඩසටහන පවත්වනු ලබන අතර, මෙම පුහුණු වැඩසටහන දීර්ඝ කාලීනව පැවැත්වීමට සංගප්පූරු වෛද්‍ය කණ්ඩායම කටයුතු කරනු ලබයි.‍

ශ්‍රී ලංකාව පුරා දැඩි සත්කාර ඒකකවල සේවය කරන ඉදිරි පෙළ විශේෂඥයින් බලගැන්වීම මෙම සහයෝගීතාවයේ ප්‍රධාන ඉලක්කය වන අතර, විශේෂඥ දේශන, විද්වත් සාකච්ඡා සහ ප්‍රායෝගික CRRT පුහුණුව ඒකාබද්ධ කිරීමෙන්, බරපතල ලෙස රෝගාතුර වූ රෝගීන් කළමනාකරණය කරන වෛද්‍යවරුන්, වකුගඩු රෝග විශේෂඥයින්, නිර්වින්දන වෛද්‍යවරුන් සහ හදිසි ප්‍රතිකාර ඒකක කණ්ඩායම්වල සායනික දැනුම ශක්තිමත් කිරීම මෙම පුහුණු වැඩමුළුවේ අරමුණයි.