සොරකම් කළ යතුරුපැදිය කොටස්වලට ගලවමින් සිටියදීම පොලිසියට මාට්ටු

කටුනායක පොලිස් වසමේ ආඩිඅම්බලම ප්‍රදේශයේදී ඊයේ (10) දින යතුරුපැදි සොරකම් ඇතුළු සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් ලද තොරතුරකට අනුවයි.

එහිදී සැකකටයුතු ලෙස යතුරුපැදියක් කොටස්වලට ගලවමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඔහු පරීක්ෂා කිරීමේදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 200 ක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

සැකකරුගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ආදාල යතුරුපැදිය වේයන්ගොඩ පොලිස් වසමේදි 2026.09.08 වන දින සොරකම් කරන ලද්දක් බවට අනාවරණය වී ඇත.

ඒ අනුව එම සොරකමට සම්බන්ධ තවත් සැකකරුවෙකු සීදූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් වයස අවුරුදු 22 හා 25 ක් වයස්වල පසුවන ආඩිඅම්බලම හා සීදූව ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදි මොවුන් විසින් කටුනායක පොලිස් වසමේදී තඹ කම්බි සොරකම් කිරීමේ අපරාධ දෙකක්, ජංගම දුකථනයක් සොරකම් කිරීම සහ සීදූව පොලිස් වසමේදී යතුරු පැදියක් සොරකම් කිරීමට සම්බන්ධ බවට අනාවරණය වි ඇත.

කටුනායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.