යසස් හේවගේ IDB සභාපති ධුරයේ වැඩ අරඹයි

ශ්‍රී ලංකාවේ පැරණිතම ව්‍යවසාය සංවර්ධන ආයතනයක් වන Industrial Development Board (IDB) හි නව සභාපතිවරයා ලෙස යසස් හේවගේ මහතා ඊයේ (01) දින සිය ධුරයේ වැඩ භාර ගනු ලැබුවා.

වසර 60කට අධික ප්‍රෞඩ ඉතිහාසයක් හිමි කාර්මික සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත (SME) සංවර්ධනය සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ වැදගත් ආයතනයක් ලෙස කටයුතු කරනවා.

යසස් හේවගේ මහතා බැංකු හා මූල්‍ය, ව්‍යාපාරික උපාය මාර්ග, අලෙවිකරණ හා විකුණුම්, ව්‍යවසායකත්ව සංවර්ධනය සහ ක්‍රීඩා සංචාරක ක්ෂේත්‍රයන්හි දශක දෙකකට ආසන්න අත්දැකීම් සහිත වෘත්තිකයෙකි.

මෙම පත්වීමට පෙර ඔහු කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස සේවය කළ අතර, SME Nexus ජාතික SME උපායමාර්ගික රාමුව සංවර්ධනය කිරීමේ කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසද දායක වී ඇත.

එසේම, යෝජිත ව්‍යවසායකත්ව හා කර්මාන්ත පරිවර්තන අධිකාරිය (EITA) පිහිටුවීම සඳහා සහාය වන ආයතනික පරිවර්තන නායකත්ව කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කරනවා.

ඔහුගේ බැංකු වෘත්තීය ජීවිතය තුළ HSBC සහ NDB Bank යන ආයතනවල සිල්ලර බැංකුකරණය, SME ව්‍යාපාර සංවර්ධනය සහ උපායමාර්ගික කළමනාකරණ ක්ෂේත්‍රයන්හි ප්‍රමුඛ තනතුරු රැසක් හොබවා ඇත.

විශේෂයෙන් NDB බැංකුව සංවර්ධන බැංකුවක සිට ප්‍රමුඛ වාණිජ බැංකුවක් දක්වා පරිවර්තනය වූ කාලසීමාවේදී ඔහු වැදගත් දායකත්වයක් ලබා දී තිබෙනවා.

ව්‍යවසායකත්ව සංවර්ධනය සහ විධායක පුහුණුකරණය (Executive Coaching) සම්බන්ධයෙන්ද හේවගේ මහතා පුළුල් පිළිගැනීමක් දිනාගෙන ඇති අතර, දහස් සංඛ්‍යාත වෘත්තිකයන් සහ ව්‍යවසායකයින්ගේ හැකියාවන් වර්ධනය කිරීමට දායක වී ඇත.