ඉබෝලා මර්දනයට නව එන්නත් 03ක්

කොංගෝ රාජ්‍යයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉබෝලා වෛරස් ප්‍රභේදය මර්දනය කිරීම සඳහා නව එන්නත් තුනක් නිෂ්පාදනය වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වන විට පුද්ගලයන් දෙසිය පනහකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් කර ඇති මෙම වෛරස් ව්‍යාප්තිය, ඉතිහාසයේ දරුණුතම වසංගත තත්ත්වය දක්වා වර්ධනය වීමේ අවදානමක් පවතින බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

සැලකිය යුතු සෞඛ්‍ය පහසුකම් නොමැති ගැටුම් පවතින කලාපයකින් මෙම රෝගී තත්ත්වය වාර්තා වීම හේතුවෙන්, එය පාලනය කිරීම දැඩි අභියෝගයක් වී තිබෙනවා.

දැනට කොංගෝ රාජ්‍යයෙන් සැකකටයුතු රෝගීන් දහසකට අධික සංඛ්‍යාවක් වාර්තා වන අතර උගන්ඩාවෙන් ද ආසාදිතයන් නව දෙනෙකු හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

බුන්ඩිබුග්යෝ (Bundibugyo) නමැති මෙම දුර්ලභ ඉබෝලා ප්‍රභේදයට එරෙහිව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය, මොඩර්නා ආයතනය සහ ජාත්‍යන්තර ඒඩ්ස් එන්නත් මූලාරම්භය (IAVI) එක්ව මෙම නව එන්නත් පර්යේෂණ සිදුකරනවා.

වසංගත සූදානම්තා නවෝත්පාදන සන්ධානය (CEPI) මෙයට මූල්‍ය ප්‍රතිපාදන සපයන අතර, බටහිර අප්‍රිකාවේ පැවති දරුණුතම ඉබෝලා ව්‍යාප්තියට වඩා මෙවර තත්ත්වය දරුණු විය හැකි බැවින් එන්නතක් කඩිනමින් නිපදවීම අත්‍යවශ්‍ය වී ඇති බව වෛද්‍ය විශේෂඥයන් පවසනවා.

සීමා රහිත වෛද්‍යවරුන්ගේ සංවිධානය (MSF) ද පෙන්වා දෙන්නේ ඉතා කෙටි කලක් තුළ මෙතරම් විශාල රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීම අතිශය කනගාටුදායක තත්ත්වයක් බවයි.