මෙරට තේ කර්මාන්තයේ අභිවෘද්ධිය සහ දියුණුව වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් වාර්ෂිකව පැවැත්වෙන නැවුම් තේ මංගල්‍යය වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (31) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්වුණා.
සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසු මෙරට තේ වතුවලින් නෙළා ගත් නැවුම් තේ අස්වැන්නෙන් නිෂ්පාදනය කරන ලද අග්රභාගයේ තේ කොටස දළදා හිමියන්ට පූජා කිරීම මෙම මංගල්‍යයේ ප්‍රධාන අංගයයි.
එමෙන්ම මහනුවර ශාන්ත අන්තෝනි ආසන දෙව්මැදුරේ සහ මහනුවර වේලම්බොඩ මස්ජිදුල් හිදායා ජුම්මා පල්ලියේදී ද නැවුම් තේ පූජා කිරීමේ කටයුතු සිදු කෙරුණා.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා තේ මණ්ඩලය එක්ව වාර්ෂිකව සංවිධානය කරන මෙම නැවුම් තේ මංගල්‍යය මෙවර පැවැත්වූයේ නවවැනි වරට වන අතර, මෙම සම්ප්රදාය ආරම්භ කරනු ලැබුවේ 2017 වර්ෂයේදීය.
තේ මංගල්‍යය ආරම්භ කළ දා සිට තේ වගා කෙරෙන දිස්ත්‍රික්කවල පිහිටි විවිධ ආගමික සිද්ධස්ථාන වෙත ද නැවුම් තේ අස්වැන්නෙන් කොටසක් පූජා කිරීම සිදු කෙරේ. ඒ අනුව මෙවර රත්නපුර සමන් දේවාලය, බදුල්ල ඓතිහාසික මුතියංගන රජමහා විහාරය, කොටපොළ ඓතිහාසික ගැටබරු රජමහා විහාරය, අලුත්ගම කන්දේ විහාරය සහ රම්බොඩ ශ්‍රී භක්ති හනුමාන් කෝවිල ඇතුළු ආගමික ස්ථාන රැසකදී මෙම පූජා කටයුතු සංවිධානය කර තිබිණි.
තේ කර්මාන්තයට සම්බන්ධ සියලු පාර්ශ්ව මෙම අවස්ථාවට එක්ව සිටි අතර, තේ කර්මාන්තයේ අඛණ්ඩ දියුණුව සඳහා ආගමික ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම ද මෙහිදී සිදු කෙරිණි. එමෙන්ම මෙරට තේ කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් අතීතයේ සිට වර්තමානය දක්වා කැපවූ සියලු දෙනා සිහිපත් කිරීම ද මෙම නැවුම් තේ මංගල්‍යයේ විශේෂ අංගයක් විය.
මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති, ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති, මෙන්ම ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ද, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නිලධාරීහු සහ තේ කර්මාන්තයට සම්බන්ධ පාර්ශ්ව රැසක් සහභාගි වූහ.
