චීන ජනපති උතුරු කොරියාවේ නිල චාරිකාවකට සැරසෙයි

චීන ජනාධිපති ෂී ජින්පින් ලබන 08 සහ 09 යන දිනවල උතුරු කොරියාවේ නිල චාරිකාවක නිරත වන බව වාර්තා වනවා.

වසර හතකට ආසන්න කාලයකට පසු චීන නායකයෙකු උතුරු කොරියාවට යන පළමු අවස්ථාව මෙය වනවා.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ගේ විශේෂ ආරාධනයකට අනුව මෙම සංචාරය සිදුවන බවයි වාර්තා වන්නේ.

මෑතකදී චීන ජනාධිපතිවරයා අමෙරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන් බෙයිජිං නුවරදී හමුවීමෙන් අනතුරුව මෙම චාරිකාව සංවිධාන කර තිබෙනවා.

උතුරු කොරියාවේ පරමාණුක අවි වැඩපිළිවෙළ හේතුවෙන් ජාත්‍යන්තර සම්බාධක පනවා ඇති පසුබිමක, චීනය ඔවුන්ගේ ප්‍රධානතම ආර්ථික සහ දේශපාලන මිතුරා ලෙස කටයුතු කරනවා.

එහෙත් මෑතකාලීනව රුසියාව සහ උතුරු කොරියාව අතර වර්ධනය වෙමින් පවතින සමීප සබඳතාව පිළිබඳව චීනය යම් අවධානයකින් පසුවන බවයි දේශපාලන විචාරකයන් පවසන්නේ.

චීනය සහ උතුරු කොරියාව අතර වසර හැට පහක් පැරණි ආරක්ෂක ගිවිසුමක් පවතින අතර, දෙරටෙන් එක් රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත් අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගය දැක්වීමට එමඟින් බැඳී සිටිනවා.

මෙම චාරිකාව මගින් උතුරු කොරියානු නායකයා සිය දේශපාලන ශක්තිය ලෝකයට ප්‍රදර්ශනය කිරීමට උත්සාහ කරන අතර, චීනය සමඟ දේශසීමා වෙළඳාම ඉහළ නැංවීමට සහ සංචාරක ව්‍යාපාරය දියුණු කරගැනීමට අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ.

මේ අතර, දකුණු කොරියාව සහ අමෙරිකාව සමඟ යළිත් සාකච්ඡා මාර්ගයට අවතීර්ණ වන ලෙස චීන ජනාධිපතිවරයා උතුරු කොරියාවට බලපෑම් කරනු ඇතැයි දකුණු කොරියානු බලධාරීන් අපේක්ෂා කරනවා.

නමුත්, තමන් සතු න්‍යෂ්ටික අවි නිෂ්පාදන ධාරිතාව පසුගිය වසර පහ තුළ දෙගුණයකින් වැඩි වී ඇති බව පවසන උතුරු කොරියානු නායකයා, සිය න්‍යෂ්ටික අභිලාෂයන් අත් නොහරින බවයි නැවත වරක් අවධාරණය කරන්නේ.‍