ලෝකයම බලා සිටි ඓතිහාසික සාම ගිවිසුම

ඉරානය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පවතින ගැටුම් නිමාවට පත් කරමින් දෙරට අතර සාම ගිවිසුමකට අත්සන් තැබෙනු ඇති බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ශරීෆ් පවසනවා.

මාස ගණනාවක් පුරා පැවති යුදමය වාතාවරණය නිමා කරමින් සැකසුණු මෙම සාම ගිවිසුම මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බවයි අග්‍රාමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරන්නේ.

​විද්‍යුත් තාක්ෂණය ඔස්සේ දෙපාර්ශවයේම නායකයින් මෙම ඓතිහාසික ගිවිසුමට අත්සන් තැබීමට නියමිතව තිබෙනවා.

මෙම සාම ක්‍රියාවලියේ මැදිහත්කාර පාර්ශවයන් ලෙස පාකිස්තානය, කටාර් රාජ්‍යය සහ එක්සත් අරබි එමීර් රාජ්‍යය කටයුතු කරන අතර, එම රටවල් ද මෙම අවස්ථාවට එක්වන බව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා පවසනවා.

ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව, ඊට අදාළ තාක්ෂණික මට්ටමේ සාකච්ඡා ලබන සතියේදී ආරම්භ කිරීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය ෂෙබාස් ශරීෆ් වැඩිදුරටත් කියා සිටින්නේ.