තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු දිවයිනට රැගෙන එයි

අකුරේගොඩදී නිතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතන සිද්ධියට යොදාගත් මෝටර් රථය ධාවනය කළ සැකකාර රියැදුරු මාලදිවයිනේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඊයේ (04) දිවයිනට රැගෙන විත් තිබෙනවා.

අකුරේගොඩ සුපිරි වෙළඳසැළක් ඉදිරිපිට දී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමට, වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයේ රියැදුරුවරයා ලෙස කටයුතු කළ පුද්ගලයා මෙරට විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මාළදිවයිනේ දී අත්අඩංගුවට ගෙන ඊයේ දින සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණා.

මොහු බටපොළ, ඇත්කදුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අයෙක්.

මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයා, බහරේන් සිට මාළදිවයින වෙත පැමිණ සිටියදී, ඔහුට එරෙහිව ශ්‍රී ලංකාව විසින් නිකුත් කර තිබූ රතු නිවේදනය මත, එරට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මෙරටට ඒ පිළිබඳ දැනුවත් කිරීමෙන් පසු විශේෂ පොලිස් කණ්ඩායමක් මාලදිවයින වෙත ගොස් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්පසු ඔහු මාලදිවයිනේ මාලේ නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 116 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය වෙත දැඩි රැකවල් මධ්‍යයේ රැගෙන ගියා.