හෝමුස් යළි නොසන්සුන්

ඉරාන නාවික හමුදාව විසින් ඇමෙරිකානු ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ හෝමුස් සමුද්‍ර සන්ධියේදී.

“සේල්ඩ්‍රෝන්” වර්ගයට අයත් මෙම යානය විසින් එල්ල කළ ආක්‍රමණශීලී මෙහෙයුම සාර්ථකව ව්‍යර්ථ කිරීමට තම හමුදාවට හැකි වූ බවයි ඉරානය පවසන්නේ.

ප්‍රහාර තීව්‍ර වීමත් සමඟ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යමින් පවතිනවා.

ප්‍රහාරයත් සමඟ හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව දැඩි නොසන්සුන්කාරී තත්වයක් හටගෙන තිබෙනවා.

ප්‍රහාරයට ලක්වූ යානය අදාළ කලාපයේ නිරීක්ෂණ මෙහෙයුමක නිරතව ඇති බවයි වාර්තා වන්නේ.

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය වැඩිදුරටත් පවසන්නේ සිය සාගර සීමාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම ප්‍රහාරයකට මුහුණ දීමට සූදානම් බවයි.

මැදපෙරදිග ප්‍රහාර තීව්‍ර වීමත් සමඟ බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් සියයට 1.05 කින් ඉහළ ගියා.

ඒ අනුව බොරතෙල් බැරලයක මිළ ඩොලර් 108.68ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිලද ඉහළ ගොස් ඇති අතර ඒය ඩොලර් 103.45ක් ලෙසයි වාර්තා වන්නේ.

රොයිටර් පුවත් සේවයට අනුව, මැයි මස මැද භාගයෙන් පසුව ප්‍රධාන බොරතෙල් වර්ග දෙකෙහිම මිල ගණන් සති අන්තයක් අවසානයේදී මෙලෙස ඩොලර් 100 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.

ප්‍රවාහන මාර්ගයන්හි ඇතිවී තිබෙන මෙම ගැටලුකාරී තත්ත්වය හමුවේ ඉදිරියේදී ලෝක වෙළඳපොළට තෙල් සැපයීමට බාධා එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී පමණක් බොරතෙල් මිල සියයට 6කට වඩා වැඩි අගයකින් ඉහළ ගියා.