‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ජාතික තේමාව පෙරදැරි කරගනිමින්, සමස්ත ලංකා පළාත් පාලන පද්ධතියම ආවරණය වන පරිදි සංවිධාන කරනු ලබන ‘පුනරුදයේ පුරවර’ පළාත් පාලන සතිය අද (14) ආරම්භ කෙරෙනවා.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මඟින් මෙහෙයවනු ලබන මෙම විශේෂ වැඩසටහන සැප්තැම්බර් 19 වැනිදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මකයි.
සාම්ප්‍රදායික නිලධාරිවාදි රාමුවෙන් මිදී මහජන කේන්ද්‍රීය, කාර්යක්ෂම, පරිසර හිතකාමී සහ පාරදෘශ්‍ය පළාත් පාලන සංස්කෘතියක් ස්ථාපිත කිරීම සහ මහජනතාව සෘජුවම රාජ්‍ය පාලන ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීම මෙම සතියේ ප්‍රධාන අරමුණයි.
අද (14) දින සමාරම්භක දිනය ජංගම සේවා සහ ආදායම් ප්‍රවර්ධන දිනය ලෙස වෙන්කොට තිබෙනවා.
ඒ අනුව පළමු දිනය පළාත් පාලන සේවාවන් මහජනතාව වෙත තවදුරටත් සමීප කිරීම සහ ආදායම් මාර්ග පුළුල් කරගැනීම සඳහායි.
මෙදින ප්‍රදේශයේ විවිධ ස්ථානවල ජංගම සේවා පවත්වනු ලබන අතර හිඟ වරිපනම් සහ කඩකුලී රැස්කිරීම, සරල ගෙවීම් ක්‍රමවේද (සරල ආකෘති පත්‍ර, සහන ක්‍රම) හරහා සිදු කෙරෙනවා.
එමෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සෞඛ්‍ය අංශ සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව කටයුතු කරමින්, ඉදිරි වාර්ෂික අය-වැය ලේඛන සඳහා යොදාගැනීමට මහජන අදහස් සහ පැමිණිලි ලබාගැනීම සිදු කෙරෙනවා.
