පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ අංක 01 සහ 02 කලාප අද (14) සිට තාවකාලිකව සංචාරකයින් සඳහා වසා තැබීමට වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අද සිට ඔක්තෝබර් මස 15 වැනිදා දක්වා වූ මාසයක කාලයක් සඳහා මෙය ක්‍රියාත්මකයි.
අධික උණුසුම් හා වියළි කාලගුණය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ ජල මූලාශ්‍ර රැසක් සිඳී ගොස් ඇති අතර, ගහකොළ සහ තණබිම් වියළීම හේතුවෙන් සතුන්ට ආහාර හා ජල හිඟයකටද මුහුණදීමට සිදුව තිබෙනවා.
සතුන්ගේ ජල අවශ්‍යතා සපුරාලීම සඳහා වනජීවී නිලධාරීන් මැණික් ගඟේ ස්ථාන හතරකින් සූර්ය පැනල මෝටර් මගින් ලබාගන්නා ජලය භූගත නළ හරහා වනෝද්‍යානයේ පොකුණු වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙන බවයි වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මීට අමතරව දෛනිකව ලීටර් ලක්ෂ 02ක පමණ ජල ප්‍රමාණයක් බවුසර් මගින් රැගෙන ගොස් වනෝද්‍යානයේ කෘත්‍රිම සහ ස්වභාවික පොකුණු පිරවීමටද කටයුතු කරමින් සිටින බව සඳහන්.
පවතින වියළි කාලගුණය හමුවේ ආහාර සහ ජලය සොයා යාමේදී සතුන්ට සිදුවන බාධා අවම කිරීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණ බව වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
