මන්නාරම සංවර්ධනයට රජයෙන් දැවැන්ත පියවර රැසක්

මන්නාරම දිස්ත්‍රික්කයේ සංවර්ධනයට අභියෝගයක්ව පවතින පරිපාලන ගැටලු හා බාධාවන් ඉවත් කර අවශ්‍ය මානව සම්පත් හා යටිතල පහසුකම් වර්ධනය කිරීමට ප්‍රමුඛතාව ලබා දෙනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ විෂය පථයට අදාළව මන්නාරම දිස්ත්‍රික්කයේ පවතින ගැටලු පිළිබඳව සොයා බැලීමත් දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා පවතින බාධා හඳුනාගෙන ඊට කඩිනම් විසඳුම් ලබාදීමත් අරමුණු කරගෙන පසුගියදා (11) මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවට සහභාගී වෙමිනි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා උතුරු පළාතේ දින දෙකක නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහි සමාරම්භක අවස්ථාව ලෙස මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම විශේෂ සාකච්ඡාව පැවැත්විණි.

මෙහිදී සෞඛ්‍ය හා යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් ප්‍රදේශයේ පවතින උග්‍ර සෞඛ්‍ය ගැටලුවලට පිළියම් ලෙස සියලු පහසුකම්වලින් සමන්විත අලුත් රෝහලක් ඉදිකිරීමට මූලික කටයුතු යොදා ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, එහි කටයුතු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි සතියේදී ආරම්භ කිරීමට නියමිත බවත් සඳහන් කළේය.

මීට අමතරව, පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය හරහා ප්‍රදේශයේ දැවැන්ත සංවර්ධන කටයුතු රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක වන බව ද මෙම සාකච්ඡාවේදී අබයරත්න මහතා අවධාරණය කළේය.

තවද, මන්නාරම නගර සභාව මහ නගර සභාව (Municipal Council) බවට පත්කිරීමේ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇති බවත්, ඊට අවශ්‍ය පහසුකම් සපයමින් එම කටයුතු ඉක්මනින් අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළ අමාත්‍යවරයා මන්නාරම දිස්ත්‍රික්කයේ පවතින ස්වාභාවික සම්පත් උපරිම ඵලදායීතාවෙන් භාවිත කිරීම, කසළ කළමනාකරණය, සූර්ය බලශක්ති උත්පාදන ව්‍යාපෘති ප්‍රවර්ධනය සහ පළාත් පාලන ආයතනවලට අවශ්‍ය යන්ත්‍රෝපකරණ ලබාදීම කෙරෙහි ද රජයේ අවධානය යොමු වී ඇති බව මෙහිදී දන්වා සිටියේය.

කෘෂිකාර්මික ක්ෂේත්‍රය සහ යල කන්නයේ වගාවන් පිළිබඳව ද සාකච්ඡා කළ අතර යල කන්නයේදී වගා කටයුතු සඳහා ප්‍රමාණවත් ජලය නොමැතිවීම හේතුවෙන්, වී වගාව වෙනුවට බඩඉරිඟු ඇතුළු අතුරු භෝග වගා කිරීම පිළිබඳව අවධානය යොමු කිරීමේ වැදගත්කම පිළිබඳව ද අමාත්‍යවරයාගේ අවධානයට ලක් විය.

මන්නාරම දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්ගේ හිඟය සහ ඔවුන් මුහුණදෙන අභියෝග පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර 2020 වසරේ සිට නතර කර තිබූ රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් යළි ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන් අතර, 2025 වසරේදී පමණක් 35,000කට අධික පිරිසක් රාජ්‍ය සේවයට අලුතින් බඳවාගෙන ඇති බවත් මේ වසරේද විශාල පිරිසක් බඳවා ගැනීමට කටයුතු යොදා ඇති බවත් දන්වා සිටියේය.

පසුගියදා පවත්වන ලද තරඟ විභාගවල ප්‍රතිඵල ඉක්මණින් නිකුත් කර ගුරුවරුන් බඳවා ගැනීමට රජය කටයුතු කරන බව ද සඳහන් කළේය.

ග්‍රාම නිලධාරී සේවය තුළ පවතින ගැටලුවලට ද කඩිනමින් විසඳුම් ලබා දෙන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, එක් ග්‍රාම නිලධාරියෙකු වසම් කිහිපයක වැඩබැලීමේ තත්ත්වය නැවැත්වීමට අවශ්‍ය ග්‍රාම නිලධාරීන් අලුතින් බඳවා ගැනීම සඳහා පැවති විභාග ප්‍රතිඵල අනුව පසුගිය දා එහි සම්මුඛ පරීක්ෂණ ද පවත්වා මේ වන විට අවසන් කර ඇති බව පෙන්වා දෙන ලදී.

එම කටයුතු දේශපාලන හිතවත්කම්වලින් බැහැර ව සුදුසුකම් හා දක්ෂතා මත පමණක් සිදු කිරීමට පියවර ගත් බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

රාජ්‍ය ආයතනවල සේවා පහසුකම් වර්ධනය කළ යුතු බව අවධාරණය කරමින් රාජ්‍ය නිලධාරීන්ට සහ පළාත් පාලන ආයතනවලට අවශ්‍ය වාහන මිලදී ගැනීමේ මූලික ක්‍රියාමාර්ග ද ආරම්භ කර ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන් අතර යුද්ධයෙන්, මෑතකාලීන ආපදාවලින් සහ ආර්ථික අභියෝගවලින් බැටකෑ මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමත්, සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව සහෝදරත්වයෙන් ජීවත්වන පරිසරයක් නිර්මාණය කිරීමත් වත්මන් රජයේ මූලික අරමුණ බව ද මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.