පීට් හෙග්සෙත්ට එරෙහි දෝෂාභියෝගය පරාජය වෙයි

අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය, එරට ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ට එරෙහි දෝෂාභියෝගය තාවකාලිකව පරාජයට පත්කර තිබෙනවා.

යෝජනාව රිපබ්ලිකන් පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහය ඇතිව වැඩිදුර අධ්‍යයනය සඳහා කාරක සභාවකට යොමු කෙරුණා.

අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව රිපබ්ලිකන් පක්ෂයේ මන්ත්‍රී තෝමස් මැසී ඉදිරිපත් කළ දෝෂාභියෝග යෝජනාව සම්බන්ධයෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී ඡන්ද විමසීමක් පවත්වා තිබෙනවා.

කොංග්‍රස් මණ්ඩලයේ නිසි අනුමැතියකින් තොරව ඉරානයට එරෙහි යුද්ධය, කැරිබියන් කලාපයේ නෞකා ප්‍රහාර සහ යේමනයේ හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම ඇතුළු චෝදනා 8 ක් යටතේ මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණා.

දෝෂාභියෝගය සෘජුවම පූර්ණ ඡන්ද විමසීමකට ලක්වීම වැළැක්වීමට රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් කටයුතු කළා. යෝජනාව කාරක සභාව වෙත යොමු කිරීමට පක්ෂව ඡන්ද 211 ක් සහ විරුද්ධව ඡන්ද 204 ක් ලැබී තිබෙනවා.

යෝජනාව ඉදිරිපත් කළ තෝමස් මැසී පමණක් ඩිමොක්‍රටික් පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ එක්ව එයට විරුද්ධව ඡන්දය භාවිත කළා.

එම අවස්ථාවේ ඩිමොක්‍රටික් පක්ෂයේ මන්ත්‍රීවරුන් 11 දෙනෙකු ඡන්ද විමසීමට නොපැමිණීම හේතුවෙන් දෝෂාභියෝගය ඉදිරියට ගෙනයෑම තාවකාලිකව අත්හිටුවීමට සිදුව තිබෙනවා.

පෙන්ටගනයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් කියා සිටියේ, තමන්ට එරෙහි දෝෂාභියෝගය හමුදා ක්‍රියාමාර්ග සහ නීත්‍යානුකූල මෙහෙයුම් කඩාකප්පල් කිරීමේ අරමුණින් කරන ලද දේශපාලන ක්‍රියාමාර්ගයක් බවයි.