යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට සාම ගිවිසුමක් ඇතිකර නොගන්නේ නම්, රුසියාව වෙත සම්බාධක පනවන බවට, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළි අනතුරු අඟවනවා. ඔහු කියා සිටින්නේ, සති දෙකක් තුළ යුක්‍රේනයේ සාමකාමී විසඳුමක ප්‍රගතියක් දක්නට නොලැබුණහොත්, මෙම පියවර ක්‍රියාත්මක කරන බවයි.
යුක්‍රේනය යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, පසුගියදා අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර මෙන්ම, ඉන් අනතුරුව අමෙරිකාවේ වොෂිංටන් අගනුවරදී ජනාධිපති ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි අතර පැවති සාකච්ඡා ඵලදායී වුවද, රුසියාව සහ යුක්‍රේනය අතර සාම ගිවිසුමක් ඇති කර ගැනීම පිළිබඳ ප්‍රගතියක් දක්නට ලැබුණේ නැහැ.
යුක්‍රේනයේ පිහිටි අමෙරිකානු කර්මාන්ත ශාලාවකට රුසියාව ප්‍රහාර එල්ල කිරීමත් සමග අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියාවේ එවැනි ක්‍රියා පිළිබඳව සිය අප්‍රසාදය පළ කර සිටියා. සති දෙකක් තුළ යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් සාමකාමී විසඳුමකට රුසියාව එළඹිය යුතු බවයි, ජනාධිපති ට්‍රම්ප් එහිදී යළි අවධාරණය කළේ. එලෙස ක්‍රියා නොකළ හොත්, රුසියාව වෙත දැඩි සම්බාධක පනවන බවට ද ජනාධිපති ට්‍රම්ප් යළි අනතුරු ඇගවූවා.
මේ අතර, යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ, යුද්ධය අවසන් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට ඇති එකම මාර්ගය, තමා රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් හමුවීම බවයි. ඊට අවස්ථාව සලසන ලෙස යුක්‍රේන ජනාධිපතිවරයා රුසියාවෙන් යළි ඉල්ලා සිටිනවා.
