කෝටි ගණනක ”කුෂ්” ගුවන් තොටේදී අල්ලයි

රුපියල් කෝටි 11කට ආසන්න “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු, කටුනායක ගුවන් තොටුපොළ රේගුව විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ඉන්දියානු ජාතිකයෙක්.

බැංකොක් සිට ඉන්දියාව හරහා මෙරටට පැමිණ ඇති සැකකරුගේ ගමන් මල්ලෙහි තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනුණා.

ගුවන් තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ, කිලෝ ග්‍රෑම් 10 යි, ග්‍රෑම් 750 ක් වන “කුෂ්” මත්ද්‍රව්‍ය තොගය ඇසුරුම් 19 ක් ලෙස සකස් කර තිබූ බවයි.

අවුරුදු 31 වන සැකකාර ඉන්දීය ජාතිකයා පළමු වරට මෙරටට පැමිණ ඇති අයෙකු බව ගුවන් තොටුපොළ රේගුව ප්‍රකාශ කළා.

සැකකරු සමග මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදීමට පියවර ගෙන තිබුණා.