විරෝධතාකරුවන් නේපාලය වනසයි

පසුගියදා නේපාලයේ කත්මන්ඩු අගනුවර පාර්ලිමේන්තු සංකීර්ණය අසළ විරෝධතා ආරම්භ වූයේ සමාජ මාධ්‍ය 26 ක් තහනමට ලක් කිරීමට රජය ගත් තීරණයට එරෙහිවයි.

විරෝධතා උත්සන්න වීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය යළි යථාවත් කිරීමට නේපාල රජය පියවර ගත්තා. එම තහනමට එරෙහිව ආරම්භ වූ විරෝධතා, රජයට එරෙහි විරෝධතා බවට පත් වුණා.

විරෝධතා හමුවේ නේපාල අගමැති කේ.පී.ෂර්මා ඔලී සිය ධුරයෙන් ඊයේ ඉල්ලා අස්වී තිබෙනවා.

මේ අතර, විරෝධතාකරුවන් ජනාධිපතිවරයාගේ නිවස සහ ඉහළ පෙළේ නිලධාරීන් රැසකගේ නිවාස ගිනි තබා විනාශ කළා.

පාර්ලිමේන්තු හා ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිලි සහ කොංග්‍රස් පක්ෂ කාර්යාලයද විරෝධතාකරුවන් විසින් ගිනි තබා විනාශ කරනු ලැබුවා.

බන්ධනාගාර දෙකකින් රැඳවියන් 900 දෙනෙකුට ආසන්න පිරිසක් පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අමාත්‍යවරුන් තිදෙනෙකුද සිය ධුරවලින් ඉල්ලා අස්වී ඇති අතර, කත්මන්ඩු හා ඒ අවට ප්‍රදේශවල මේ වන විට ආරක්ෂාව දැඩි කොට ඇඳිරිනීතිය පනවා තිබෙනවා.

ආරක්ෂක නිලධාරීන්, හෙලිකොප්ටර් ආධාරයෙන් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සිය නිවෙස්වලින් ඉවත් කිරීමටද පියවර ගෙන තිබෙනවා.

පවතින ප්‍රචණ්ඩකාරී තත්වය හේතුවෙන් කත්මන්ඩු අගනුවර පාසල් වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.