සීනිමෝදර මළ සිරුරු හමු වූ තැනින් තවත් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනී

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ අලුත්වැඩියා කෙරෙමින් පැවති පැරණි නිවසක් තුළ තිබී පුද්ගල මළසිරුරු දෙකක් හමුවී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, එම ස්ථානයේ සිටි තවත් පුද්ගයෙකු ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් පසු ඔහුද මියගොස් ඇති බවයි.

මේ අතර, හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ‍කිලෝග්‍රෑම් 200කට ආසන්න තොගයක්ද අදාළ නිවස ආසන්නයේ ලොරි රථයක තිබී අද දහවල් සොයා ගැණුනා.

තංගල්ල රෝහලට අද උදෑසන ඇතුළත් කළ පුද්ගලයෙකු සැකසහිත ලෙස මියයාම සම්බන්ධව ඔහුගේ ඥාතීන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව තංගල්ල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එහිදි මියගිය පුද්ගලයා රැඳී සිටි සීනිමෝදර ප්‍රදේශයේ මෙම නිවස පරීක්ෂා කිරීමේදි එහි තිබී මෘත ශරීර දෙකක් හමුවී තිබෙනවා.

මෙය අලුත්වැඩියා කෙරෙමින් පැවති නිවසක් වන අතර, එහි ඉදිකිරීම් සිදුකළ පුද්ගලයන් මෙලෙස මියගොස් ඇති බවටයි හෙළි වී ඇත්තේ.

නිවසේ නවතා තිබු ලොරි රථ දෙකක් පරීක්ෂා කිරීමේදි එක් ලොරි රථයක් තුළ සූක්ෂම ලෙස සඟවා තිබු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 10කට අධික ප්‍රමාණයක් හමුවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට පොලිස් නිලධාරින් අදාළ ස්ථානයට පැමිණීමට පෙර අපරාධ ස්ථානයෙන් පිටතට ගිය ලොරි රථයක් පිළිබඳව ලද තොරතුරකට අනුව එම ලොරි රථයද පොලිස් භාරයට ගැණුනා.

එහි තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 ක් හා රිවෝල්වර් අවි 5 ක් සහ ටී 56 ගිනි අවියක් සොයා ගැනීමට හැකිවුණා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු මේ වනවිට තංගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකගේ පරීක්ෂාවට ලක් කෙරුණා.