සාකෝසි සිරගෙට

ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සාකෝසිට වසර පහක සිර දඬුවමක් නියම වී තිබෙනවා.

ඒ ලිබියානු නායක කර්නල් මුවම්මර් ගඩාෆිගෙන් යුරෝ මිලියන ගණනක නීති විරෝධී අරමුදල් ලබා ගත් බවට වන සාපරාධී කුමන්ත්‍රණයක් පිළිබඳ චෝදනාවකට වරදකරු වීම හේතුවෙන්.

ජනාධිපති නිකොලස් සාකෝසිට එල්ල වී තිබූ අක්‍රිය දූෂණය සහ නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා මුදල් සැපයීම ඇතුළු අනෙකුත් සියලු චෝදනාවලින් පැරිස් අපරාධ අධිකරණය විසින් ඔහුව නිදහස් කරනු ලැබුවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මෙම තීන්දුවට අනුව ඔහු අභියාචනයක් ඉදිරිපත් කළද ඔහුට සිරගතව සිටීමට සිදුවනු ඇති බවයි.

මීට අදාළ නඩු විභාගය ඊයේ පැවත්වුණා. නිකොලස් සාකෝසි 2007 වසරේ සිට 2012 දක්වා ප්‍රංශයේ ජනාධිපති ධුරය දැරූ අතර මේ වන විට 70 හැවිරිදි වියේ පසුවනවා.

නඩු තීන්දුවෙන් පසුව ඔහු ප්‍රකාශ කළේ මෙම නඩුව දේශපාලන පලිගැනීමක් බවයි.

සාකෝසි තම මැතිවරණ ව්‍යාපාරය සඳහා මූල්‍ය ආධාර ලබා ගැනීමේ අරමුණින් ලිබියානු නිලධාරීන් සම්බන්ධ කර ගැනීම සඳහා සමීප සහායකයින්ට අවසර දී ඇති බව තීන්දුව ලබාදෙමින් විනිසුරුවරයා කියා සිටියා.

ඔහුට යුරෝ 100,000 දඩයක් ගෙවීමට ද නියෝග කරනු ලැබුවා. මෙම තීන්දුවට අනුව සිරගෙයට නියමවන පළමු ප්‍රංශ ජනාධිපතිවරයා බවට ඔහු පත්වනු ඇති.