ඓතිහාසික සෝමාවතී පුදබිමේ ඉදිකෙරුණු පුරාවිද්‍යා කෞතුකාගාරය ජනපති අතින් විවෘත කෙරේ ‍

ඓතිහාසික සෝමාවති පුදබිමේ අභිනවයෙන් ස්ථාපිත පුරා විද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරා විද්‍යා පර්යේෂණ ආයතනය ඇතුළත් දෙමහල් මන්දිරය අද විවෘත කෙරුණා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

සෝමාවති පුදබිම වෙත ගිය ජනාධිපතිවරයා ප්‍රථමයෙන් ඓතිහාසික සෝමාවතී රජමහා විහාරාධිපති මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදැක සුවදුක් විමසා සිටියා.

අනතුරුව චෛත්‍ය අභියසට ගොස් ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර, පුරා විද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය සමන්විත නව දෙමහල් මන්දිරය විවෘත කළා.

එහි තැන්පත් කර ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ සධාතුක කරඩුව වෙත ප්‍රථම පුෂ්පෝපහාරය ද සිදුකරනු ලබුවේ ජනාධිපතිවරයා විසින්.

පොලොන්නරුව ඓතිහාසික සෝමාවති පුදබිම වැදපුදා ගැනීමට පැමිණෙන සහ අධ්‍යාපනික පර්යේෂණ කටයුතුවල යෙදෙන දෙස් විදෙස් අයගේ පහසුව පිණිස මෙය ඉදි කර තිබෙනවා.

මෙම දෙමහල් මන්දිරය විහාරාධිපති හිමියන්ගේ අනුශාසනා පරිදි ඉදිකරනු ලැබ ඇත්තේ රත්න සමූහ ව්‍යාපාරයේ සභාපති දේශමාන්‍ය මිත්‍රපාල ලංකේෂ්වර මහතාගේ ධන පරිත්‍යාගයෙන්‍. ඒ, පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සැලසුම් සහ අධීක්ෂණය යටතේයි.