ගල්කිස්ස අධිකරණයේ සිද්ධියට පොලිස් නිලධාරියා රිමාන්ඩ්… නීතිඥවරයා ගැනත් විමර්ශනයක්

ගල්කිස්ස අධිකරණ භූමියේදී නීතිඥවරයෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා, රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මෙම සිදුවීම වාර්තා වී තිබුණේ ඉකුත් 10 වැනි දිනයි.

අදාළ නීතිඥවරයාගේ මෝටර් රථය අධිකරණ භූමියෙන් පිටතට ගැනීමේදී ඇති වූ යම් සිද්ධියකදී පොලිස් නිලධාරියෙකු විසින් එම නීතිඥවරයාට පහරදුන් බවට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ඒ අනුව ගල්කිස්ස පොලිසිය එම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු හෙට දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තැබීමට නියෝග කර තිබෙනවා.

පොලිසිය පවසන්නේ අදාළ නීතිඥවරයා සමග පැමිණි තවත් ජ්‍යේෂ්ඨ නීතිඥවරයෙකු මෙම සිදුවීමට පාදක වූ පොලිස් නිලධාරියා හට බැණ, තර්ජනය කර රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධව ද මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

ඒ බව නිරීක්‍ෂණය වන දර්ශන ඇතුළත් සංයුක්ත තැටියක් ඉදිරි විමර්ශන සඳහා නඩු භාණ්ඩ ලෙස ලබාගෙන අදාළ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇතැයි ද මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයක සඳහන්.

සිද්ධිය වූ අවස්ථාවේ අධිකරණ භූමියේ සිටි පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ද ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.