එ.ජනපදයේ ෆෙඩරල් සේවකයින් දහස් ගණනක් සේවයෙන් ඉවතට

එක්සත් ජනපදයේ ෆෙඩරල් ශ්‍රමබලකාය අඩු කිරීමේ ක්‍රියාවලිය මේ වනවිට ආරම්භ කර ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව ට්‍රම්ප් පරිපාලනය විසින් එරට ආයතන 7ක සේවක කප්පාදුව ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.

එක්සත් ජනපදයේ ධවල මන්දිර කළමනාකරණ කාර්යාලයෙහි අධ්‍යක්ෂ”රසල් වොට්” , ඉකුත් සිකුරාදා එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ, ට්‍රම්ප් පරිපාලනය විසින් අපේක්ෂිත ෆෙඩරල් සේවකයින් දහස් ගණනක් සේවයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන බවයි.

ඒ අනුව, එරට ආයතන 7ක හාරදහසකට වැඩි සේවකයින් පිරිසක් සිය සේවාවලින් ඉවත් කිරීම මේ වනවිට ක්‍රියාත්මක කර තිබෙනවා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් යළි අවධාරණය කර සිටින්නේ, ෆෙඩරල් ශ්‍රම බලකාය අඩු කිරීමේ සිය දීර්ඝ කාලීන ඉලක්කය සඳහා තවදුරටත් ක්‍රියා කරන බවයි.

එක්සත් ජනපද නීතිය යටතේ, ෆෙඩරල් රජය විසින් සිය සේවකයින් වෙත ඔවුන්ගේ සේවාවලින් ඉවත් කරන බවට අවම වශයෙන් දින 30කට පූර්වගාමී දැනුම් දීමක් සිදු කළ යුතුයි.

සේවක කප්පාදුවලින් වැඩි ප්‍රමාණයක් එරට භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

එහි සේවකයින් එක්දහස් හාරසියයකට වැඩි පිරිසකට මෙම සේවක කප්පාදුව පිළිබඳව මේ වනවිටත් දැනුම් දී ඇති බව සඳහන්.

කෙසේවුවද එක්සත් ජනපද ප්‍රධාන වෘත්තීය සමිති දෙකක් සේවක කප්පාදුවට එරෙහිව නඩුවක් ගොනු කරමින් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ, මෙම පියවර තාවකාලිකව නතර කරන ලෙසයි.