
මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සදහා නොවැම්බර් 12 වනදා කැදවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා
එහිදී පැමිණිල්ල විසින් නඩුවට සම්බන්ධ ලේඛන කිහිපයක් විත්තියේ නීතීඥවරුන් වෙත විවෘත අධිකරණයේදී ලබා දුන්හ.
ඒ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ තවත් ලේඛන සමහරක් කඩුවෙල උසාවියේ විත්තිකරුට එරෙහිව ගොනු කර ඇති නඩුවක ඇති බවත් ඒවා පරීක්ෂා කිරීමට අවශ්‍ය බවත් සඳහන් කළේය.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා පැවසූවේ එම ලේඛන පරීක්ෂා කිරීම සඳහා නඩුව කැඳවීමට දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.
ඒ අනුව මෙම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සදහා දිනයක් ලබා දෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුවට අදාල ලේඛන පරීක්ෂාව සඳහා මෙම නඩුව නොවැම්බර් 6 වනදා කැඳවන ලෙස නියෝග කළ අතර නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සදහා මෙම නඩුව නොවැම්බර් 11 වනදා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය.
රුපියල් මිලියන 73 කට ආසන්න වත්කම් හා දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.