
2025 නොවැම්බර් 21 වන අද දින එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2025 වසර සදහා ලෝක ටෙලිවිෂන් දිනය ලෝකයේ ටෙලිවිෂන් වෘත්තිකයන් සමග සමරනු ලබයි. මෙවර ‘ටෙලිවිෂන් යන්ත්‍රයේ තාක්ෂණික පරිණාමය මෙන්ම වැඩසටහන් ප්‍රවර්ගවල පරිණාමය සමග ටෙලිවිෂන් සන්නිවේදනය, තොරතුරු සහ සංස්කෘතික හුවමාරුව සඳහා ප්‍රබල මාධ්‍යයක් ලෙස පවතින්නේ කෙසේද’ යන්න කෙරෙහි අවධානය යොමු කරයි.
විශේෂයෙන්ම ටෙලිවිෂන් අන්තර්ගත කර්මාන්තයේ පැවති පැරණි සංවිධාන ව්‍යුහයට විපයාස ගෙන එමින් “TV is Changing. Its Power Remains.” “ටෙලිවිෂන් වෙනස් වුවද, එහි බලය එළෙසමය” යන තේමාව ප්‍රවර්ධනය කරමින් තොරතුරු, අධ්‍යාපනය, වින්දනාස්වාදය සමග ගෝලීය ප්‍රජාව එක්සත් කිරීම සඳහා වේදිකාවක් ලෙසද, බහු වේදිකා හරහා වුවද, ටෙලිවිෂන් සන්නිවේදනයේ කල් පවතින මාධ්‍ය බලපෑම ඉස්මතු කරයි.
ස්ථාපනය:
නොවැම්බර් 21 කියන දවස සෑම වසරකම ලෝක ටෙලිවිෂන් දිනය හැටියට නම් කරලා තියෙනවා. ලෝකවාසී අප කාගේත් සමාජ-ආර්ථික-දේශපාලන-සංස්කෘතික කාරණා කෙරෙහි ඉතා වැදගත් වෙන තීරණ ගැනීමේදී ටෙලිවිෂන් මාධ්‍යයේ භූමිකාව කෙසේ විය යුතුදැයි කියන එක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානයට ලක් වුණා. ඒ සඳහා 1996 නොවැම්බර් මාසයේ 21 සහ 22 යන දවස් දෙකේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේදී එක්සත් ජාතීන්ගේ පළමුවෙනි ලෝක ටෙලිවිෂන් සමුළුව කැඳවනු ලැබුවේ ටෙලිවිෂන් මාධ්‍යයේ ගෝලීය භූමිකාව කෙරෙහි පළමුවතාවට අන්තර්ජාතික අවධානය යොමු කරමින්.
ලෝකවාසී අප කාගේත් සමාජ-ආර්ථික-දේශපාලන-සංස්කෘතික කාරණා කෙරෙහි තීරණ ගන්නන් කෙරෙහි බලපෑම් කිරීමේදී ටෙලිවිෂන් මාධ්‍යය සතු බලය සහ විභවය පිළිබඳව සාකච්ඡා කිරීමටත්, එහිලා ජාත්‍යන්තර අවබෝධය ප්‍රවර්ධනය කිරීම ගවේෂණය කිරීමත් මෙහි තේමා පාඨය වුණා.
අප ගත කරන මේ 21වෙනි සියවසේ අභියෝගවලට මුහුණ දීමේදී ටෙලිවිෂන් මාධ්‍යයට ඉටු කළ හැකි සහ ඉටු කළ යුතු කාර්යභාරය ගැන සාකච්ඡා කිරීමට ලෝකයේ ප්‍රධානතම විකාශන ආයතන ප්‍රධානීන්, විවිධ රටවල මාධ්‍යවේදීන් සහ නානාවිධ ප්‍රේක්ෂක සංවිධාන නියෝජනය කරන්නන් මෙම සම්මේලනයට සහභාගී වුණා.
රටවල් 50කට අධික සංඛ්‍යාවකින් පුද්ගලයන් 130කට වැඩි පිරිසක් සහභාගි වූ සංවාද ආකෘතියෙන් තිබුණු මේ සම්මේලනයට එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ පරමාදර්ශ පිළිබිඹු කරන ගෝලීය සමාජයක් ප්‍රවර්ධනය කිරීම සඳහා ටෙලිවිෂන් මාධ්‍යයේ පවතින වාණිජමය අවශ්‍යතා තුළ ම වඩවඩාත් සමතුලිත භාවයක් ඇති කරන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීම ප්‍රමුඛ කරුණ වුණා.
“ටෙලිවිෂන් මාධ්‍ය සහ ගෝලීයකරණය”, “ගෝලීය ගම්මානයේ ටෙලිවිෂන් මාධ්‍යය සහ විවිධත්වය”, “ටෙලිවිෂන් මාධ්‍යයේ ජාත්‍යන්තර ප්‍රවෘත්ති වාර්තාකරණය” සහ “ටෙලිවිෂන් මාධ්‍යයේ අනාගතය” යන මාතෘකා යටතේ පැවැත්වූ සැසිවාරවල අවසානයේ යෝජනා වූයේ මෙයින් නොනැවතී සෑම වසරක් පාසාම මේ පිළිබඳව සමාලෝචනයක් සිදු කිරීමේ වැදගත්කමයි.
ඒ අනුව 1996 දෙසැම්බර් මාසයේදී පැවැත්වූ එක්සත් ජාතීන් සංවිධානයේ 51වෙනි මහා මණ්ඩල සැසිවාරයේදී 205වෙනි යෝජනාව හැටියට සෑම වසරකම අද වගේ නොවැම්බර් 21වෙනිදාව ලෝක ටෙලිවිෂන් දිනය හැටියට නම් කෙරුණා.