2019 වසරේ හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 152කට අධික ප්‍රමාණයක් දකුණු මුහුදු තීරයේ ප්‍රවාහනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි විත්තිකරුවන් පස් දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් පනවනු ලැබූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය විසින් අද තහවුරු කර තිබේ.
එම දඬුවමට එරෙහිව විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් පී.කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.
අදාල චෝදනාවලට වරදකරු කරමින් තමන්ට මරණීය දණ්ඩනය නියම කිරීමට මහාධිකරණය ගනු ලැබූ තීරණය නීතියට පටහැණි බවත් ඒ අනුව තමන්ව අදාළ චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම අභියාචනා ඉදිරිපත් කර තිබුණා.
අභියාචනා විභාගයේදි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නේ ආරක්ෂක අංශ වලට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව නාවික හමුදාව විසින් ගාල්ල ප්‍රදේශයට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ සිදූකළ වැටලීමේදී හෙරොයින් මත්කුඩු සමග මෙම විත්තිකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබු බව සඳහන් කර තිබුණා.
“බුද්ධිමා” නමැති බහුදින ධීවර යාත්‍රාව මගින් විත්තිකරුවන් මෙම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කළ අතර මෙම යාත්‍රාව කලක් පටන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදා ගෙන තිබූ බවට විමර්ශන වලදී කරුණු අනාවරණය වී ඇති බවත් ඔහු අධිකරණයට දැනුම් දී තිබුණා.
මීගමුව ප්‍රදේශයේ කිසියම් පාර්ශවයකට ලබාදීම සඳහා මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන ආ බවට තොරතුරු අනාවරණය වී තිබූ බවත් ඔහු අධිකරණයට දැනුම් දුන්නා.
විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණය විසින් ලබාදී ඇති තීන්දුව නීත්‍යනුකූල බවත් ඒ අනුව විත්තිකරුවන්ගේ අභියාචනා ඉවත දමන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල් ශනි කුලරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා තිබුණා.
සියලු පාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරන විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට මහාධිකරණය විසින් පනවනු ලැබූ දඬුවම අනුමත කරමින් ඔවුන්ගේ අභියාචනා ඉවත දැමීමට තීන්දු කළා.
