කොලොම්බියාවේ උතුරුදිග ප්‍රදේශයේදී මගී ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට රජයට අයත් ‘සටේනා’ ගුවන් සේවය තහවුරු කරනවා.
මියගිය පිරිස අතර එරට ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයින් දෙදෙනෙකු ද සිටින බව වාර්තා වන අතර, අනතුරට පත් යානයේ සුන්බුන් මේ වන විට දුෂ්කර කඳුකර ප්‍රදේශයක තිබී සොයාගෙන තිබෙනවා.
‘සටේනා’ ගුවන් සේවයට අයත් බීච්ක්‍රාෆ්ට් 1900 වර්ගයේ මෙම යානය කුකුටා නගරයේ සිට වෙනිසියුලානු දේශසීමාව අසල පිහිටි ඕකානා නගරය බලා ගමන් කරමින් තිබුණා.
මගීන් 13 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු රැගත් මෙම යානය ඕකානා නගරයට ගොඩබෑමට මිනිත්තු 11ක් තිබියදී පාලන මැදිරිය සමඟ පැවති සබඳතා විසන්ධි වූ බව ගුවන් සමාගම පවසනවා.
යානය කඳුකර ප්‍රදේශයකට කඩා වැටීමෙන් එහි සිටි සියලු දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුරින් මියගිය පිරිස අතර කොලොම්බියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයෝජිනීස් කින්ටෙරෝ අමායා සහ ඉදිරි කොංග්‍රස් මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට සිටි කාර්ලෝස් සල්සෙඩෝ ද වන බව නිල මගී නාමලේඛනය මගින් තහවුරු වී තිබෙනවා.
අනතුර සිදුවූ වහාම සහන සේවා කණ්ඩායම් ක්‍රියාත්මක වූ අතර, කොලොම්බියානු සන්නද්ධ හමුදා ද සෝදිසි මෙහෙයුම් සඳහා සහාය ලබා දුන්නා.
අනතුර සිදුවූ ප්‍රදේශය ELN නමින් ගරිල්ලා කණ්ඩායම් පාලනය කරන කලාපයක් වීම හේතුවෙන් දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ මෙහෙයුම් සිදුකෙරුනා.
