“මොන විදියෙන් හරි අපි මේක අරිනවා.” – වහපු හෝමූස් ඇරගන්න ට්‍රම්ප් විදෙස් සහයත් ඉල්ලයි.

ඉරානය විසින් නාවික ගමනාගමනය සඳහා වසා දැමූ හෝමූස් සමුද්‍ර සන්ධිය මොන විදියකින් හෝ යළි විවෘත කරගන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර තිබෙනවා.

හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් වසා දැමීමට දරන උත්සාහය පාලනය කිරීම සඳහා තමන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනාධිපති ට්‍රම්ප් පවසනවා.

සිය ‘Truth Social’ ගිණුම හරහා අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, සමුද්‍ර සන්ධිය ආරක්ෂිතව සහ විවෘතව තබා ගැනීම සඳහා ඇමරිකාව සමඟ එක්ව කටයුතු කිරීමට සෙසු රටවල් ද යුද නැව් එවිය යුතු බවයි.

“ඉරානය මේ වන විට සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති ජාතියක් වුවද, ඩ්‍රෝන යානයක් හෝ දෙකක් යැවීම, බෝම්බයක් හෙළීම හෝ කෙටි දුර මිසයිලයක් එල්ල කිරීම ඔවුන්ට පහසුයි,” යනුවෙන් සඳහන් කරන ට්‍රම්ප්, මේ තත්ත්වය වැළැක්වීමට චීනය, ප්‍රංශය, ජපානය, දකුණු කොරියාව සහ එක්සත් රාජධානිය වැනි රටවල සහාය අපේක්ෂා කරන බව සඳහන් කරනවා.