අග්‍රාමාත්‍යතුමිය භූතානයේ අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා හමුවෙයි

2026 අගෝස්තු 31 සිට සැප්තැම්බර් 04 දක්වා භූතානයේ පැවැත්වෙන 2026 සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit – GCFSS) සහභාගීවීම සඳහා භූතානයේ සංචාරයක නිරත අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ඊයේ (03) දින භූතානයේ අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍ය යීසාං දේ තාපා මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවකට සහභාගී විය.

ශ්‍රී ලංකාව සහ භූතානය අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර, දෙරටේ රජයන් අතර සෘජු සහභාගීත්වය සහ සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම තුළින් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත්කමක් ඇති වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව යන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ නව සහයෝගීතා අවස්ථා හඳුනා ගැනීමේ වැදගත්කම දෙපාර්ශ්වය විසින් අවධාරණය කරන ලදී. දෙරටේසිසුන්, අධ්‍යාපනඥයින් සහ අධ්‍යාපන ආයතන සඳහා වැඩි අවස්ථා නිර්මාණය කිරීම එහි අරමුණු විය.

අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව යන ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට මෙහිදී දෙපාර්ශ්වය එකඟ වූහ. එම අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා ලේකම් මට්ටමින් ප්‍රධානත්වය දරන ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවක් ස්ථාපිත කිරීමට ද එකඟතාව පළ විය. එම කමිටුව වාර්ෂිකව රැස්වී ප්‍රගතිය සමාලෝචනය කිරීම, නව සහයෝගීතා ක්ෂේත්‍ර හඳුනා ගැනීම සහ එකඟ වූ ක්‍රියාකාරකම් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලසීම සිදු කිරීමට නියමිතය.

විශ්වවිද්‍යාල සහ අධ්‍යාපනික ආයතන අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීම, අධ්‍යයන හා ආචාර්ය මණ්ඩල හුවමාරු වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම, ඒකාබද්ධ පර්යේෂණ සහ විශ්වවිද්‍යාල වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, අධ්‍යාපනඥයින් සහ ගුරුවරුන් සඳහා පුහුණු වැඩසටහන් සංවිධාන කිරීම මෙන්ම අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ක්ෂේත්‍රවල විශේෂඥ දැනුම සහ භාවිතයන් හුවමාරු කර ගැනීම යන කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

දරුවන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය තහවුරු කිරීමේ යාන්ත්‍රණ තවදුරටත් ශක්තිමත් කිරීම, සිසුන් අතර සදාචාරාත්මක වටිනාකම් ප්‍රවර්ධනය කිරීම සහ දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම පිළිබඳව ද දෙපාර්ශ්වය සාකච්ඡා කළහ. දරුවන්ගේ ආරක්ෂාව, සුරක්ෂිතභාවය, යහපැවැත්ම සහ ගුණාත්මක අධ්‍යාපනය සඳහා ඔවුන්ට ඇති ප්‍රවේශය තහවුරු කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.

භූතාන සිසුන්ට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා අවස්ථා ලබාදීම පිළිබඳව ද සාකච්ඡා වූ අතර, විශේෂයෙන් දන්ත වෛද්‍ය විද්‍යාව, වෛද්‍ය විද්‍යාව (MBBS) සහ භෞත චිකිත්සාව ඇතුළු සෞඛ්‍ය විද්‍යා විෂය ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු විය. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය හා සෞඛ්‍ය විද්‍යා ක්ෂේත්‍රවල පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා අවස්ථා පුළුල් කිරීම මෙන්ම දෙරටේ විශ්වවිද්‍යාල සහ අනෙකුත් අධ්‍යාපනික ආයතන අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

මෙම හමුව ශ්‍රී ලංකාව සහ භූතානය අතර අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ඉදිරියට ගෙන යාමටත්, දෙරටේ සිසුන්, අධ්‍යාපනඥයින් සහ අධ්‍යාපනික ආයතන අතර දිගුකාලීන සහයෝගීතාව සඳහා නව මංපෙත් විවෘත කිරීමටත් වැදගත් අවස්ථාවක් සලසාලයි.