දික්ඔය ඝාතකයා අල්ලන්න මහජන සහය පතයි

හැටන් දික්ඔය නගරයේ වෙළඳසැලක් තුළදී අඹුසැමි යුවලක් තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර, ස්වර්ණාභරණ කොල්ලකා පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හැටන් පොලිසිය ආරක්ෂිත කැමරා (CCTV) දර්ශන මාධ්‍ය වෙත නිකුත් කරමින් මහජන සහය ඉල්ලා සිටිනවා.

පසුගිය 21 වැනිදා පස්වරුවේ සිදුවූ මෙම අභාග්‍යසම්පන්න සිදුවීමෙන් ඝාතනයට ලක්ව ඇත්තේ එම වෙළඳසැලේ ජීවත් වූ අඹුසැමි යුවලක්.

ඝාතනය සිදුකළ පුද්ගලයා විසින් කාන්තාව පැළඳ සිටි පවුම් 18ක් බරැති රන්මාලය, තැල්ල සහ කරාබු යුවල කොල්ලකා පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

පොලිස් පරීක්ෂණවලට අනුව සැකකරු එදින උදෑසන දික්ඔය නගරයට පැමිණ, රන්මාලයක් මිලදී ගැනීමට අවශ්‍ය බව පවසමින් ස්වර්ණාභරණ වෙළඳසැල් කිහිපයක සැරිසරා තිබෙනවා.

පසුව පස්වරු 1.15 ට පමණ මෙම අඹුසැමි යුවල පදිංචි වෙළඳසැල තුළට වැදී සැඟව සිට ඇති සැකකරු, ඝාතනය සිදුකිරීමෙන් පසු පස්වරු 5.30 ට පමණ එතැනින් පිටව ගොස් ඇති බව CCTV දර්ශන මඟින් අනාවරණය වී තිබෙනවා.

මෙම සැකකරු පිළිබඳව කිසියම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත වහාම දැනුම් දෙන ලෙස හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී: 071 8591114

හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක: 071 8591117

අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති: 071 8593163