න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමේ සාකච්ඡා අසාර්ථකයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් අතර සති හතරක කාලයක් පුරා පැවැති න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමේ සාකච්ඡා කිසිඳු එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙනවා.

මෙම සමුළුවේ සභාපති වියට්නාමයේ දෝ හුන්ග් වියට් මහතා නිව්යෝර්ක් නුවරදී මාධ්‍ය වෙත පවසා ඇත්තේ උපරිම උත්සාහයක් දැරුවද අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වූ බවයි.

මේ හේතුවෙන් අදාළ ලේඛනය සම්මත කරගැනීම සඳහා ඉදිරිපත් නොකරන බව ඒ මහතා කියා සිටිනවා.

මෙහිදී සකස් කෙරුණු කෙටුම්පතක සඳහන්ව ඇත්තේ දැනට න්‍යෂ්ටික අවි නොමැති ඉරානය කිසිසේත්ම එවැනි අවි නිපදවීම නොකළ යුතු බවයි.

වසර ගණනාවක් පැරණි න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුම සමාලෝචනය කිරීම සඳහා මෙම සාකච්ඡා පවත්වා තිබෙනවා.

කෙසේ වෙතත් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයේ දත්තවලට අනුව ලෝකයේ පවතින සමස්ත න්‍යෂ්ටික අවිවලින් සියයට අනූවක්ම පවතින්නේ ඇමරිකාව සහ රුසියාව සතුව බව වාර්තා වනවා.